විදුලි ක්ෂේත්‍රයේ නව්‍යකරණය විමර්ශනයට තෝතැන්නක් ….

සමස්ත දිවයිනම ආවරණය වන පරිද්දෙන් විදුලියෙන් ඒකාලෝක කිරීමේ උදාර කර්තව්‍යයට උරදී කටයුතු කරන, ලංකාවාසී ජනතාවට අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන අතර සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටින විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වෙත පිවිසීම පිළිබඳව කෘතඥ වෙමි.

මුළු ලෝකයම අද වනවිට බලශක්ති අර්බුදයකට මුහුණ දෙමින් සිටී. අපද එහි ප්‍රතිවිපාක සුළුවෙන් හෝ අත්විඳින්නෙමු. රටක් වශයෙන් රටේ ආර්ථීකය, ජන සමාජය අර්බුදයකට පත්වන්නට නොදී මනා කළමනාකාරීත්වයකින් සහ කාර්යක්ෂමතාවකින් යුතුව පවත්වාගත යුතුය. දැන් අභියෝගය වී ඇත්තේ සේවක කැපවීම මත බලශක්ති ක්ෂේත්‍රයේ විටින් විට ලබාගත් ජයග්‍රහණයන් අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමයි. සමස්ත දිවයින විදුලියෙන් ඒකාලෝක කිරීමේ වගකීම අප උරමත වැටී තිබේ. සැවොම එක් වි, ලොකු පොඩි බේද, පාට, පක්ෂ බේද නොසලකා, රට වෙනුවෙන් පෙළගැසී ඒ සාමුහික වගකීම ජයගත යුතුව ඇත. ඒ උදාරතර කර්තව්‍යය ඉටුකරන ආකාරය පිළිබඳව සමස්ත ලෝකයේම ජනතාවට කරුණු දැනගැනීම සඳහා මෙම වෙබ් අඩවියෙන් අවස්ථාව උදාවී ඇත.

අභියෝග හමුවේ ගුණාත්මක මහජන සේවයක් සැපයීම වෙනුවෙන් කැපවී සේවය කරන විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන පිළිබඳව සමස්ත ලෝකවාසී ජනතාවගේ අවධානය යොමුවීමටත්, විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සමස්ත ලෝකවාසි විද්වත් අදහස් හා මත පිළිබඳ දැනුවත්වීම සඳහාත් මෙම වෙබ් අඩවිය මහෝපකාරි වේ යැයි සිතමි.

දිනෙන් දින නව්‍යකරණය වන විදුලිබල ක්ෂේත්‍රය පිළිබඳව විමර්ශනාත්මක ගවේශනයන් සිදුකරන්නන් හට සහ වෙබ් අඩවිය පරිශීලනය කරන්නාවූ සහෘද ජනතාවට මාගේ හෘදයාංගම ප්‍රණාමය පුදකර සිටිමි.

අජිත් පී. පෙරේරා
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය