Posted by superadmin in Latest News
“කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් තාප බලාගාරයක් ස්ථාපිත කරනවා……”
කොළඹ ආශ්‍රිත විදුලි බලාගාර නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්
ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
“නිවාස පියසි යොදාගනිමින් සූර්ය විදුලිබල උත්පාදනය විදිමත් කිරීම සදහා ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවීමට අදහස් කර ඇති අතරම ජාතික විදුලිබල පද්ධතියට දායක වියහැකි බලාගාර කිසිවක් මෑත භාගයේ ස්ථාපිත නොවීම හේතුවෙන් මේ වනවිට බලපා ඇති විදුලි අර්බුධය මගහරවා ගැනීම වෙනුවෙන් කඩිනමින් පියවර ගන්නවා. ඒ යටතේ කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් මෙගාවොට් 105 ක තාප බලාගාරයක් ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නවා” යැයි විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.
දෛනික විදුලි ඉල්ලුම හමුවේ රට මේ වනවිට මුහුණ දී තිබෙන අභියෝගාත්මක වාතාවරණය ලිහිල් කිරීම වෙනුවෙන් කොළඹ අවට ස්ථාපිත කොට ඇති විදුලිබලාගාරයන්හි වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවති විශේෂ නිරීක්ෂණ චාරිකාවකදී මෙම අදහස් පළ කළාය.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී කැළණිතිස්ස, සුජිට්සු, ඒශියා පවර්, සපුගස්කන්ද සහ කොළඹ වරායේ ස්ථාපිතකොට ඇති බාජ් විදුලි බලාගාරවල සහ බත්තරමුල්ල පිහිටි පද්ධති පාලන ඒකකයේ වර්තමාන තත්ත්වය විෂයභාර අමාත්‍යවරිය විසින් නිරීක්ෂණය කල අතර එම බලාගාරයන්ගේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් බලපා ඇති ගැටලු මෙන්ම කාර්ය මණ්ඩල මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී අමාත්‍යවරියගේ විශේෂ අවධානය යොමුවිය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විෂයබාර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය,
රජයක් වශයෙන් අපේ ප්‍රධානතම වගකීම තමයි, විදුලි පාරිභෝගික ජනතාවට අඛණ්ඩ, ගුණාත්මක මෙන්ම ලාභදායි විදුලි පහසුකමක් සැපයීම. නමුත් එන්න එන්නම විදුලිබල ඉල්ලුම වැඩිවෙමින් පවතිනවා. මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න අපි කඩිනමින් ක්‍රියාත්මක වියයුතුයි. 2015 වසරේ මම විදුලිබල අමාත්‍ය ධූරයෙන් ඉවත්වන විට විදුලිබල මණ්ඩලය බිලියන 15ක ලාභ ලබන ආයතනයක් බවට පත්කරලා, සමස්ත
දිවයින ආවරණය වන පරිද්දෙන් 98% කට විදුලිබලය ලබාදීල, විදුලි බිලත් 25% කින් අඩු කරලයි තිබුනේ. නමුත් අද වනවිට මෙම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා. විදුලිබල මණ්ඩලය විශාල ණය බරක් සහිත ආයතනක් බවට පත්වෙලා. පසුගිය වකවානුව තුළ එකම බලාගාරයක් බවත් නොහදපු නිසා, විදුලි උත්පාදනය වෙනුවෙන් අධික ඉන්ධන ප්‍රමාණයක් වැය කරන්න සිදුවෙලා. මෙම තත්ත්වයෙන් හැකිතාක් ඉක්මණින් රට ගොඩගත යුතුයි. අවම වශයෙන් මේ වසරේ මෙගාවොට් 1000ක් වත් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට කඩිනමින් පියවර ගත යුතුයි. යැයි පැවසීය.
මෙම නිරීක්ෂණ චාරිකාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රොහාන්ත අබේසේකර, සබරගමුව පළාත්සභා සභාපති කංචන ජයරත්න යන මහත්වරුන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.