“ලක්විජය බලාගාරය තුළින් ජාත්‍යන්තර රැකියා වෙළදපොළ වෙත ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ පුහුණු වැඩසටහන් දියත් කිරීමට කටයුතු කරනවා …”
11 0

Posted by  in Latest News

“ලක්විජය බලාගාරය තුළින් ජාත්‍යන්තර රැකියා වෙළදපොළ වෙත ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ පුහුණු වැඩසටහන් දියත් කිරීමට කටයුතු කරනවා …”

ඇමති ගාමිණි ලොකුගේ අවධාරණය කරයි.

ජනතා නියෝජිතයන් වශයෙන් අප නිරන්තරයෙන්ම ජනතාවගේ සුබසිද්ධිය පිළිබදව සැලකිලිමත් වියයුතුයි. විදුලි පාරිභෝගික ජනතාව වෙත, අඛණ්ඩ මෙන්ම ගුණාත්මක විදුලිබල සැපයුමක් ලබාදීම තමයි, විදුලිබල අමාත්‍යවරයා වශයෙන් මාගේ ප්‍රධාන වගකීම. ඒ වෙනුවෙන් විශාල දායකත්වයක් සපයන පුත්තලම ලක්විජය බලාගාරය තවදුරටත් ඵලදායි ආකරයෙන් පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුයි. ඒ වගේම මෙවැනි සුවිශේෂී බලාගාරයක් තුළින් මේ රටේ තරුණ ප්‍රජාවට තාක්ෂණික සහ න්‍යායාත්මක පුහුණුවක් ලබාදෙමින්, ඔවුන් විදෙස් රැකියා වෙළදපල වෙත සුදුදුකම් ලැබූවන් බවට පත්කිරීම සදහා අවශ්‍ය වැඩකටයුතු සම්පාදනය කළ යුතුයි යැයි විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අවධාරණය කරයි.

ජාතික ආර්ථිකයට සුවිශාල දායකත්වයක් සපයමින්, ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900 ක ධාරිතාවයක් එක්කෙරෙන, පුත්තලම, නොරොච්චෝල ලක්විජය ගල් අගුරු  විදුලි බලාගාරයේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා පසුගියදා බලාගාර පරිශ්‍රයේ පැවති නිරීක්ෂණ චරිකාවකට එක්වෙමින් අභිනව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින්  මෙම අදහස් පළකළේය.

වසර 2007 වර්ෂයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ මෙම බලාගාරය, මෙගාවොට් 300 බැගින්වු අදියර 03 ක් යටතේ ක්‍රියාත්මක වේ. මින් පළමු අදියරේ මෙගාවොට් 300 ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීම, එවකට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන් සුරතින්, 2011 වසරේදී සිදුවිය. හෙක්ටෙයාර් 93ක භූමි ප්‍රමාණයක ඉදිවූ බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන රජයේ ඉංජිනේරුවන් අතින් සිදු කෙරිණ.

බලාගාරයේ ක්‍රියාකාරීත්වය, ගල්අගුරු ලබාගැනීම, පරිසර සුරක්ෂිතතාව මෙන්ම සේවක සුභසාධනය පිළිබදව කරුණු විමසූ විෂයබාර අමාත්‍යවරයා,  දෙස් විදෙස් කීර්තියක් හිමිකරගත් මෙවැනි සුවිශේෂී  බලාගාරයක් තුළින් කාර්මික විද්‍යාල වෙත යොමුවන දරුවන් සදහා පුහුණු අවස්ථා ලබාදීම තුළින් ඔවුන් ජාත්‍යන්තර රැකියා වෙළදපොල වෙත යොමුකිරීමට සුදුසුකම් ලාභීන් බවට පත්කළ හැකි බවත්, ඒවෙනුවෙන් අවශ්‍ය කටයුතු සලසන ලෙසත්, අමාත්‍යාංශ ලේකම් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි වෙත උපදෙස් සපයන ලදී. එසේම අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරනු වස්, වසර 2030 වනවිට ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% දක්වා වර්ධනය කිරීම වෙනුවෙන් තමා ප්‍රමුඛ විදුලිබල අමාත්‍යාංශය සහ විදුලිබල මණ්ඩලය විසින් මේ වනවිට දියත්කර ඇති සහ දියත් කිරීමට යෝජිත ව්‍යාපෘතීන් පිළිබදව අදහස් දක්වමින්, මේ සියල්ලක්ම තුළින් බලාපෙරොත්තු වන්නේ විදුලි පාරිභෝගික ජනතාවට අඛණ්ඩ මෙන්ම ගුණාත්මක විදුලිබල සැපයුමක් අවම මිලක් යටතේ සැපයීම බවත් ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ශ්‍රී ලාංකිය විදුලි ඉල්ලුමෙන් 40% කට පමණ දායකත්වයක් සපයන මෙම ලක්විජය බලාගාරය මේවන විට උසස් පාරිසරික ආරක්ෂණ ක්‍රම යටතේ සාර්ථක අන්දමින් ජාතික ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් සපයනු ලබන බවත්, මේ තුළින් විදුලිබල ක්ෂේත්‍රයට මෙන්ම ප්‍රද්ශයේ ජනතාව සෘජු  හා වක්‍ර රැකියා අවස්ථාද වෙනත් ආර්ථිකමය මෙන්ම සමාජමය ‍වශයෙන් වාසි රැසක් හිමවී ඇති බවත්, මෙම අවස්ථාවේදී බලාගාරයේ තත්ත්වය පිළිබදව කරුණු  දක්වමින්, විදුලි බලාගාර ප්‍රධාන ඉංජිනේරු නාලක විජේකෝන් මහතා පැවසීය.

මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා, ලං.වි.ම. සාමාන්‍යාධිකාරි එම්.ආර්. රණතුංග, විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( ජනන, සම්ප්‍රේශණ සහ බෙදාහැරීම්) සුගත් ධර්මකීර්ති, ලංකා ගල් අගුරු සමාගමේ සභාපති ජගත් පෙරේරා, ලං.වි.ම. උප සභාපති නලින්ද ඉලංගකෝන්, විදුලිබල අමාත්‍යතුමාගේ පුද්ගලික ලේකම් තුෂාර පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු ව්‍යාපෘතිභාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.