ජාතික බලශක්ති දිනය නිමිත්තෙන්
26 0

Posted by  in Latest News

ජාතික බලශක්ති දිනය නිමිත්තෙන් 

සුර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඇමතිතුමාගේ විශේෂ සටහනක්….

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ රට හදන සෞභාග්‍යයේ දැක්මවැඩපිළිවෙලට අනුව පුනර්ජනනීය බලශක්තීන් වලට මුල්තැන දීම අපගේ බලාපොරොත්තුවයි. ඒ අනුව 2030 වසර වන විට මේ රටේ මුළු විදුලිබල නිෂ්පාදිතයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිබලය නිෂ්පාදනය කිරීම අපගේ ඉදිරි ඉලක්කය වී තිබේ.  ඉලක්කය සපුරා ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය මේ වන විටත් අවශ්‍ය සියලුම ජාතික ප්‍රතිපත්තීන් සකසා අවසන් අතර එම ඉලක්කය සඳහා කැපවීම හා ක්‍රියාත්මක වීම මේ වන විටත් ආරම්භ කර ඇති බව කියන්නේ සතුටිනි .   

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා සූර්ය බලය, සුළං බලය, ජෛව ස්කන්ධ තුළ අන්තර්ගත ශක්තිය, මුහුදු රළ ආශ්‍රිත ශක්තිය, කුඩා ජල විදුලි  බලය සහ අනිකුත් පුනර්ජනනීය විදුලි ජනන මුලාශ්‍රයන්  (ප්‍රභවයන්)  භාවිතා කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව පහත මුලාශ්‍රයන් ඇසුරෙන් 2030 වන විට ස්ථාපනය කීරීමට අපේක්ෂිත ධාරිතාවයන් මෙසේය.

ප්‍රභවය  ධාරිතාවය
සූර්ය බලය (පියසි මත/ භුමිය මත ) මෙ වො 4500
සුලං බලය (ගොඩබිම/ජලය මත) මෙ වො 4500
ජෛව ස්කන්ධ මෙ වො 500
කුඩා ජල විදුලි ව්‍යාපෘති මෙ වො 600

විමලසුරේන්ද්‍රයන් විසින් විදුලි බලය ජනතාකරණය කිරීමේ සිට අනූව දශකයේ මැද භාගයේ දක්වා (1996 වන තෙක්) අප රටේ පුර්ණ වශයෙන් විදුලිය නිෂ්පාදනය කලේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වු ජල බලයෙනි.  නමුත් වාර්ෂිකව රට තුළ ඇති වු විදුලිබල ඉල්ලුම ජල විදුලි උත්පාදනය හරහා සැපයීමට ජල මුලාශ්‍ර ප්‍රමාණවත් නොවීය. එහෙයින් එම ඉල්ලුම සැපරීමට පොසිල ඉන්ධන භාවිත තාප විදුලි බලාගාර විශාල වශයෙන් ඉදිකිරීමට සිදු වු අතර  දේශීය විදුලි ජනන මුලාශ්‍ර වූ සුර්ය බලයට හා සුලං බලයටඅඩු ප්‍රමුතිතාවයක් ලැබිණ. පොසිල ඉන්ධන භාවිත විදුලි ජනනය ඉහළ යෑමත් සමඟ ඒ සඳහා අවශ්‍ය බොරතෙල් හා ගල් අඟුරු ආනයනය සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය වීමත්, ජාතික බලශක්ති සුරක්ෂිතතාවය දුර්වලවීමත්, පෘථිවි උෂ්ණත්වය ඉහළ යෑම සඳහා බලපාන හරිතාගාර වායු විමෝචනයන් දිනෙන් දින ඉහළ යෑමක් සිදු විය.

මෙම තත්වයෙන් රටත් ජාතියත් මුදවා ගැනීමේ අවශ්‍යතාවය තේරුම් ගත් අතිගරු ජනාධිපතිතුමාණන් අසීරු වුවත් ලඟා විය හැකි ඉලක්කයන් වන 2030 වන විට 70% ක් පුනර්ජනනීය බලශක්තිය මඟින් ජාතික විදුලි බල පද්ධතිය සිවිමත් කිරීමේ වගකීම අප රාජ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දී ඇත.

මෙම ඉලක්කය හඹා යෑමේ ප්‍රථම පියවර ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ 2025 විදුලි ජනන සැලැස්ම හා අනුගත වෙමින් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා රාජ්‍ය අමාත්‍යාංශය එක් වී වසර පහෙන් පහට (5) යාවත්කාලීන වන පුනර්ජනනීය බලශක්ති ක්‍රම උපායීක සැලැස්මක් සකස් කර ඇත.

ඒ අනුව දැනටමත් පහත සඳහන් සුර්ය බලශක්ති හා සුලං බල ව්‍යාපෘති ආරම්භ කර ඇත. එනම් සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙ.වො. 100 සුර්යබල ශක්ති උද්‍යානයක්, පුනරීන් ප්‍රදේශයේ මෙ.වො. 150 ක සුර්ය බලාගාරයක් හා මන්නාරම හා  පුනරින් ප්‍රදේශවල පිළිවෙලින් මෙ.වො. 200 ක හා මෙ.වො.  240 ක සුලං බලාගාර දෙකක් ලෙස ව්‍යාපෘති 4 ක් ක්‍රියාත්මක වේ. එම ව්‍යාපෘති ශ්‍රී ලංකා සුනිත්‍ය  බලශක්ති අධිකාරිය මඟින් සංවර්ධනය කරන අතර ටෙන්ඩර් කැඳවීමේ සිට වසර 20 ක් අඛණ්ඩව පෞද්ගලික ආයෝජකයින්ගෙන් විදුලිය මිළදී ගැනීමේ ක්‍රියාවලිය  ලංකා විදුලිබල මණ්ඩලය මඟින් සිදුකරයි. ඉහත ව්‍යාපෘති වලින් සියඹලාණ්ඩුව සූර්යබල උද්‍යානය සඳහා පෞද්ගලික ආයෝජකයින්ගෙන් ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිය  මෙම වර්ෂය අවසානයේ සිදු කිරීමට අප බලාපොරොත්තු වේ.

මීට අමතරව පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය උදෙසා නව ක්‍රමවේදයන් කීපයක් දේශීය විදුලි කේෂත්‍රයට අප හදුන්වා දීමට සැලසුම් කර ඇත. සුර්යබල භාවිතය තවදුරටත් ප්‍රවර්ධනය උදෙසා එනම් පාරිභෝගිකයින්ට විදුලිබල මණ්ඩලය සතු  සම්‍ප්‍රේෂණ හා බෙදාහැරීම් පද්ධති හරහා විදුලිය රැගෙන යාමට අවසර ලබා දීමේ ක්‍රමය. (Power Wheeling) හදුන්වා දීම මින් එකකි. එනම් තම නිවාස හෝ කාර්යාලීය ගොඩනැගිලි පියසි මත, ගොඩනැගිල්ලට අවශ්‍ය විදුලි ශක්තිය ලබා ගැනීමට  ප්‍රමාණවත් නොවන හෝ සුදුසු නොවන අවස්ථාවක ආසන්න ප්‍රදේශයේ ඊට වඩා සුදුසු භූමියක හෝ ගොඩනැගිලි පියස්සක් මත සුර්ය බලාගාරයක් ඉදි කර එම විදුලි ශක්තිය ජාතික විදුලිබල පද්ධතිය හරහා තම අවශ්‍යතාවය ලබා ගැනීම සඳහා වන ක්‍රම වේදයකි.

එමෙන්ම, ජල විදුලිය හරහා තවදුරටත් පිරිසිදු බලශක්තිය නිෂ්පාදනය කර ගැනීමට මඟ පාදන ජලය ගබඩා කර ගැනීම ඉහල ජලාශයට ජලය පොම්ප කිරීමේ ක්‍රමවේදය (Pump Storage)  ක්‍රියාත්මක කිරීමට ද අවධානය යොමු කර ඇත.

මීට අමතරව ලෝකයේ  පුනර්ජනනීය  බලශක්ති කේෂත්‍රයට අදාල නවමු තාක්ෂණයන්  කීපයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇත. ඒ අනුව දිවයින වටේ ඇති සමුද්‍රයේ රළ බලය, උදම් ශක්තිය භාවිතයට ගැනීමේ හැකියාවත්, උණුවතුර ලිං ඇති ප්‍රදේශ වල භූ තාපය ලබා ගත හැකි දැයි සොයා බැලීමටත්   වන පර්යේෂණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. එය මෙරට අනාගත  බලශක්ති සුරක්ෂිතතාවයත් පරිසර සංරක්ෂණයත් වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නකි.

මෙසේ නිපදවනු ලබන පුනර්ජනීය බලශක්ති විදුලිය විශේෂයෙන් දිවා කාලයේදී  පමණක් ලැබෙන සුර්ය ශක්තිය (දැනටමත් ජාතික විදුලි බල පද්ධතියට මෙ.වො 428 එක් කෙරේ) උපරිම විදුලි ඉල්ලුම ඇති රාත්‍රි කාලයට භාවිතයට ගැනීම උදෙසා බැටරි තාක්ෂණය උපයෝගී කර ගනිමින් ගබඩා කිරීමේ සැලසුමක්ද දියත් කෙරේ .

මෙම සුර්ය බල ආශ්‍රිත බැටරි මිලෙන් අධික වුවත් අද වන විට බැටරි නිෂ්පාදනයට දේශීය ආයෝජකයන් ඉදිරිපත් වී ඇති බැවින් එය ලාභදායී ක්‍රමවේදයක් වනු ඇත. එමෙන්ම දේශීයව සුර්ය බැටරි නිෂ්පාදනය කිරීමට දේශීය ආයෝජකයින් පෙළඹවීම තුල මෙම බැටරි සදහා  ලෝකයේ අධික ඉල්ලුමක් පවතින බැවින් එය අපට විදේශීය විනිමය ගලා එන මංපෙතක් වනු ඇත.

තවද, අපේක්ෂිත ඉලක්කය කරා ලඟාවීමේදී සැපයුම (නිෂ්පාදනය) වර්ධනය කිරීමත්, පරිභෝජනයේදී සිදු වන නාස්තිය අවම කීරීමත් (ඉල්ලුම් කළමනාකරණය) යන උපාය මාර්ගයන් දෙකම එක ලෙස වැදගත් වේ. විශේෂයෙන් නාස්තිය අවම කිරීම සඳහා අමාත්‍යංශය හැටියට ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගන්නා අතර අනාගතයේදී සිදු වන නාස්තිය අවම කර ගැනීම සඳහා ජනතා ආකල්ප සංවර්ධනය ඉතා වැදගත් උපාය මාර්ගයක් වේ. විශේෂයෙන් වර්තමානයේ පවතින අවිඥානික පරිභෝජන රටාවේ සිට සවිඥානික පරිභෝජන රටාවකට ජනතාව යොමු කිරීම සඳහා ඔවුන්ව දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා අවශ්‍ය පසුබිම අද දින ප්‍රකාශයට පත් වන බලශක්ති දින වැඩසටහන  මඟින් සකස් කර ඇති අතර පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි ධනාත්මක ආකල්ප සංවර්ධනය සඳහාත්,බලශක්ති කළමණාකරනය සඳහාත්ජනතාව පෙළඹිය හැකි වසර පුරා ක්‍රියාත්මක වන ප්‍රායෝගික හා ආකර්ශණීය වැඩසටහනක් ජනතාවට තිලිණ කිරීමට කේෂත්‍රයේ සියළු ආයතන අත්වැල් බැඳගත් අවස්ථාවක් ලෙස බලශක්ති දින වැඩසටහන සනිටුහන්  කල හැකිය.

දුමින්ද දිසානායක

සුර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය