Posted by superadmin in Latest News
විදුලි ව්‍යාපෘති ව්‍යවසායකයින්ගේ අකාර්‍යක්ෂමතාව සම්බන්ධයෙන් දැඩි තින්දු තීරණ ගන්න කිසිසේත්ම මැලි වෙන්නේ නැහැ….”
ඇමති ඩලස් අවධාරණය කරයි.
“2022 දෙසැම්බර් වනවිට ජාතික විදුලිබල පද්ධතියට එක්කල යුතුයි. කිසිදු අයුරකින් එම කාලසීමාවන් දිර්ඝ කිරීමක් සිදු කරන්නේ නැහැ …”
රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක.
“ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉතිහාසයේ උදාවුණු ගැටළු දෙකක් තිබෙනවා. ඉන් එකක් තමයි හිමිකාරීත්ව ආයතන පැත්තෙන් තිබූ උදාසිනත්වය. අනිත් එක තමයි ටෙන්ඩරය හිමිකරගත් ව්‍යවසායකයින් තුළ තිබූ උදාසීනත්වය. ඔවුන් ගන්න තිබෙන උනන්දුව පැල කරන්න නැති වෙනවා. මෙහෙම ව්‍යාපෘති කොතරම් තියෙනවද ලංකාවේ?. නමුත් මෙම ව්‍යාපෘතිය එසේ වියයුතු නැහැ. මෙය ආරම්භ වුනෙත්, ක්‍රියාත්මක වන්නේත් අවසන් විය යුත්තේත් ඉතාමත් කාර්යක්ෂමවයි. යම් ව්‍යාපෘතියක ටෙන්ඩර් හිමිවීමෙන් පසු, එමගින් අපේක්ෂිත ඉලක්ක කරා ලගා විය යුතුමයි. ඒ වෙනුවෙන් ව්‍යවසායක සහාය අපි බලාපොරොත්තු වෙනවා. එසේ නොහැකිවන ව්‍යවසායකයින් පිළිබදව අපට පෙර නොගත් දැඩි තින්දු තීරණ වලට එළඹීමට සිදුවේවි. ඒ සදහා අපි කිසිසේත්ම මැලි වෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාජ්‍ය නායකයා වශයෙන් පළමු වරට රට ඉදිරියේ ප්‍රකාශයට පත්කළා, පුනර්ජනනීය බලශක්තිය රටේ ප්‍රධාන බලශක්ති ප්‍රවාහය වියයුතු බවට. ඒ නිසා මෑත කාලීනව ටෙන්ඩර් ක්‍රියාපටිය අනුගමනය කරලා, ඉකාමත් වේගයෙන් අවසන් වූ ව්‍යාපෘතිය වශයෙන් ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය තුළ පරමාදර්ශී ක්‍රියාවලියක් අනුගමනය කලාසේම, මෙම ව්‍යාපෘතිය විදුලිබල පද්ධතියට එක් කිරිම දක්වා වූ වැඩපිළිවෙලේදී ව්‍යවසායකයින්ගේ නොමද කාර්යක්ෂමතාවය සහ සහයෝගය ලබාදෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා” යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තීන්ගේ දායකත්වය වර්ධනය කිරීමේ අරමුණෙන්, දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර ඇති ග්‍රිඩ් උපපොල 20 ක් කේන්ද්‍ර කරගනිමින්, නව සූර්ය විදුලි බලාගාර 20 ක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ටෙන්ඩර් අනුමැතිය හිමිකරගත් ව්‍යවසායකයින් සදහා ටෙන්ඩර් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් පසුගියදා විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති අවස්ථාවකට සහභාගි වෙමිනි.
මේ අනුව එක් පැකේජයකට ග්‍රිඩ් උපපොළ 04 ක් බැගින් අයත් වූ පැකේජයන් 5ක් යටතේ මෙම සූර්ය විදුලි බලාගාර ප්‍රසම්පාදනය ක්‍රියාත්මක කරන ලදි. එම ව්‍යාපෘතීන් වෙනුවෙන් ජාත්‍යන්තර තරඟකාරි ලංසු ක්‍රමය අනුව ප්‍රසම්පාදන කටයුතු සිදුකර තිබේ. ලංසු ඇගයීම වෙනුවෙන් රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුවක් සහ තාක්ෂණික ඇගයිම් කමිටු පහක් පත් කර තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත්කර ඇති මිල නියම කිරීමේ කමිටුව විසින් ප්‍රසම්පාදනය යටතේ විදුලි ඒකකයක් මිලදී ගැනීමේ ඉහළම මිල තීරණය කර තිබූ අතර තාක්ෂණික ඇගයීම් කමිටු ඉදිරිපත් කල නිර්දේශ මත මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ප්‍රතිචාරාත්මක අවම මිල ගණන් දක්වන ලද ලංසුකරුවන් වෙත ටෙන්ඩර් ප්‍රදානය කිරීමට අනුමත කර ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අලහප්පෙරුම මහතා,
අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති රාමුව තුළ පළමුවෙන්ම බිම පැලවෙන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය වශයෙන් තමයි අපට මෙය හදුන්වන්න වෙන්නේ. ඒ වෙනුවෙන් ප්‍රථමයෙන්ම අපගේ කෘතඥතාවය හිමිවිය යුත්තේ දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යතුමන්ටයි. ඒවගේම විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මියටත්, රාජ්‍ය අමාත්‍යාශ ලේකම් හේමන්ත සමරකෝන් මහතාටත් මේ අවස්ථාවේ අපි ස්තුතිවන්ත වියයුතුයි, නියමු ව්‍යාපෘතියක් වශයෙන් මෙය සාර්ථක කරගැනීමට දැක්වූ කැපවීම සම්බන්ධයෙන්. හැමදාමත් තිබුණ ජනප්‍රිය චෝදනාවක් තමයි, ලංකා විදුලිබල මණ්ඩලය පුනර්ජනනීය බලශක්තීන්ට කැමති නැහැ කියන එක. නමුත් මෙම ව්‍යාපෘතියේදී එම මතය බිද දමමින්, ලංකා විදුලිබල මණ්ඩලය පැත්තෙන් මේ සදහා වියයුතු සෑම කර්තව්‍යයක්ම ඔවුන් අප්‍රමාදව නොපිරිහෙලා ඉටුකරනු තැබුවා. ඒ සම්බන්ධයෙන් ස්තුතිය පුදකරන අතරම ව්‍යවසායකයින් වශයෙන් ජාතික විදුලිබල පද්ධයේ ස්තායිතාවය වෙනුවෙන් අප සමග අත්වල් බැදගැනීම සම්බන්ධයෙන් ඔවුන්ටද මේ අවස්ථාවේ අපගේ ප්‍රණාමය හිමිවිය යුතුයි යැයි පැවසීය.
මෙ අවස්ථාවට එක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, ටෙන්ඩර් ලිපි ලැබීමෙන් මාස 9 ක් ඇතුළත සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි වී, ඒ හරහා ලබාගත යුතු අවසරයන් ලබාගන්නා ලෙස ව්‍යවසායකයින්ට පැවසූ අතර සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ඒ සදහා පූර්ණ සහාය ලබාදීමට කටයුතු කරන බවත් පැවසීය. මීට පෙර ටෙන්ඩර් කැදවා ලබාදුන් ව්‍යාපෘතිවලට සාපේක්ෂව මෙම ව්‍යාපෘතිය, වඩාත් කාර්යක්ෂම මෙන්ම ඉලක්කගත ගමනක් යාමට බලාපොරොත්තුවන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, කාල රාමුවක් සහ පසුවිපරමක් සහිතව ක්‍රියාත්මක වී, 2022 දෙසැම්බර් මස වනවිට මෙම ව්‍යපෘතී සියල්ලම ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට කටයුතු කළයුතු බවත්, සාධාරණ හේතුවකින් තොරව කිසිදු අයුරකින් එම කාලසීමාවන් දිර්ඝ කිරීමක් සිදුනොවන බවත් පැවසීය.
මෙම අවස්ථාවට සූර්යබල, සුළං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් හේමන්ත සමරකෝන් මහතා සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය යන ආයතනයන්ගේ ජ්‍යෙෂ්ෂ්ඨ නිලධාරීන් ඇතුළු ටෙන්ඩර්ලාභී ව්‍යවසායකයින් සහභාගී වූහ.