“විදුලිය නොමැති සෑම දිළිඳු පවුලකටම විදුලි සබඳතාවය නොමිලේ ලබා දෙනවා…”  ජනපති නියමයෙන් අරමුදල් වෙන්කර අවසන්.
07 0

Posted by  in Latest News

“විදුලිය නොමැති සෑම දිළිඳු පවුලකටම විදුලි සබඳතාවය නොමිලේ ලබා දෙනවා…”


ජනපති නියමයෙන් අරමුදල් වෙන්කර අවසන්.


ඇමති ඩලස් මාතර දී කියයි.

“අපේ සමාජය නිරන්තරයෙන්ම දකින්නේ අඩුපාඩු පමණයි. ආයතනයක කැපවීම, ඒ තුළින් ලබා ඇති ප්‍රගතිය ඔවුන් දකින්නේ නැහැ. ලංකා විදුලිබල මණ්ඩලයටත් නිරන්තරයෙන් ලැබෙන්නේ ගල්මුල් පමණයි. දරිද්‍රතාවයෙන් යුත් ලක්ෂ 27කට ආසන්න පාරිභෝගික ජනතාව වෙනුවෙන්, රු. 23.00 ක් වැනි මිලකට නිපදවන විදුලිය රු. 3.50 හෝ 5.50 ක් වනි අවම මිලකට ලබාදීමේ සුවිශේෂි කාර්යයේ වටිනාකම සමාජය දකින්නෙ නැහැ. මේ වනවිට සමස්ත දිවයින විදුලියෙන් ඒකාලෝක කිරීමේ වැඩසටහනේ අවසාන බාගයටයි අප පැමිණ සිටිනේ. දිස්ත්‍රික්ක වශයෙන් බැලුවොත් මාතර දිස්ත්‍රික්කයේ විදුලි පාරිභෝගිකයින් දෙලක්ෂ අසූ දෙදහසක් පමණ ප්‍රමාණයක් සිටිනවා. නමුත් තවමත් නිවාස 1607 කට විදුලිය පහසුකම් ලබාගෙන නැහැ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාරව, එළඹෙන සිංහල අලුත් අවුරුද්දට ප්‍රථම, විදුලිය නොමැති එම නිවාස 1607 ටම නොමිලයේ විදුලිය පහසුකම් ලබාදිමට අපි මේ වනවිට ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තිබෙනවා” යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, ඊයේ දින (06) පෙරවරුවේ පැවති මාතර දිස්ත්‍රික්කය ප්‍රමුඛ දකුණූ පළාත් විදුලිය සම්බන්ධව මාතර දිස්ත්‍රික්ලේකම් කාර්යාලයේදි පැවති රැස්වීමකට සහභාගී වෙමිනි. මෙම රැස්වීමේදී දැනට විදුලි සැපයුමේ තත්ත්වය මෙන්ම ඉදිරියේදී අදාළ සැපයුම ස්ථාවර සහ වර්ධනය කිරීමට විදුලිබල අමාත්‍යාංශය ප්‍රමුඛ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයන් පිළිබදව විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අලහප්පෙරුම මහතා..,

“අපේ රාජ්‍ය නායනතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තඅළ බලවත් අර්බුධය රාශියකට නවමු විසදුම් රාශියක් ඉදිරිපත් කර තිබෙනවා. එම අභියෝගයන් ජයග්‍රහණය කිරීමට නායකතුමාගේ කැපවීම හා සමගාමීව, අමාත්‍යාංශය ප්‍රමුඛ ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම යන ආයතනයන් සරල රේඛාවක් ආකාරයෙන් ඇපකැප වී කටයුතු කළ යුතුයි. පසුගිය වසර 07 ක කාලසීමාව තුළ ප්‍රධාන ජාලයට සැලකිය යුතු විදුලි ධාරාවක් නොලැබීමත්, විදුලි ඉල්ලුම සාමාන්‍ය වශයෙන් වාර්ෂිකව 5% ක ප්‍රමාණයකට ඉහළ යාමත් හේතුවෙන් මේ වනවිට ක්ෂේත්‍රයක් වහයෙන් අප යම් අර්බුදයකට මුහුණ දී සිටිනවා. එම අර්බුධ හමුවේ විදුලි පාරිභෝගික ජනතාවට අඛණ්ඩ, ගුණාත්මක, ස්ථාවර මෙන්ම අවම මිලක් සහිත විදුලි සේවාවක් සපයන්න  රජය ප්‍රමුඛ විදුලිබල අමාත්‍යාංශයත්; ඊට සම්බන්ධ අනෙකුත් ආයතනයත් මේ වනවිට සැලසුම් රාශියක් ක්‍රියාවට නංවමින් සිටිනවා. 2021 වසර අවසන් වනවිට සමස්ත දිවයින විදුලියෙන් ඒකාලෝක කිරීමේ කර්තව්‍යයේ පෙරගමන්කරු වශයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ මගපෙන්වීම් ප්‍රකාරව අමාත්‍යාංශයක් වශයෙන් මේ වනවිට සමසත් දිවයින පුරා මෙම සැලසුම් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කයේ ව්දුලි සංවර්ධනය වෙනුවෙන්, ට්‍රාන්ස්ෆෝමර් 300 ක්  යොදා ගනිමින් කිලෝවොට් 100 බැගින් වූ කුඩා විදුලි බලාගාර 300 ක් ස්තාපිත කිරීම, ඒ තුළින් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවගේ ව්‍යාපාරික අවස්ථා වැඩිදියුණූ කිරීම, අධිසැර සහ අඩුසැර සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීම, නිවාස සහ කාර්යාල පියසි මත සූර්ය බලාගාර ස්ථාපනය කිරීම ආදි පියවරයන් රාශියක් මේ වනව ක්‍රියාත්මක තලයට ගෙන ඒමට අපට හැකිවී තිබෙනවා “යැයි පැවසීය.

මාතර දිස්ත්‍රික්කයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 09 ක් තුළින් මේ වනවිට උසස් විදුලි සේවයක් ලබාදීමට ක්‍රියාකරනු ලබයි. ඉදිරියේදි දකුණු පලාත කේන්ද්‍රකර ගනිමින්  හම්බන්තොට, මිරිජ්ජවිල ආදි ප්‍රදේශයන්ට පැමිණීමට නියමිත නව කර්මාන්ත ශාලාවන්, මත්තල ගුවන් තොටුපල, ගන්දර ප්‍රදේශයේ ධීවර වරායන් වැනි විශේෂ නව ව්‍යාපෘති වෙනුවෙන් විදුලිය නොපිරිහෙලා ලබාදීම සදහා මේ වනවිට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. එසේම ප්‍රදේශයේ සියලු පාරිභෝගික සේවා පරිගනකගත කොට පාරිභෝගික පහසුව වෙනුවෙන් ලංවීම ක්‍රියාත්මක විම විශේෂ කරුණකි.

මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හේමන්ත සමරකෝන්, ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපති  නලින්ද ඉලංගකෝන් යන මහත්වරුන් සහ මාතර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයන් ඇතුළු විදුලිබල අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්  විශාල පිරිසක් සහභාගි වූහ.