” විදුලිය කියන්නේ තවදුරටත් පාරිභෝගික සේවාවක් පමණක්ම නොවෙයි… “
01 0

Posted by  in Latest News

“ විදුලිය කියන්නේ තවදුරටත් පාරිභෝගික සේවාවක් පමණක්ම නොවෙයි… ”

“මිලියන 22 ක ජනතාව අප දෙස නිරතුරුවම බලා සිටින බව සිහියට ගත යුතුයි.”

නව වසරේ රාජකාරි කටයුතු අරඹමින්, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

“අපට සාර්ථකත්වය කරා ලඟාවිය හැක්කේ අභියෝග වලට මුහුණදීමෙන් සහ ඒවා ජයගැනීමට ක්‍රියාකිරීමෙන් පමණයි. ඔබට එය කළ හැකියි. සමස්ත රටම අද අප දෙස බලාගෙන සිටිනවා. විදුලිය කියන්නේ තවදුරටත් පාරිභෝගික සේවාවක් පමණක්ම නොවෙයි. මිලියන 22 ක ජනතාව අප දෙස නිරන්තරයෙන් බලා සිටින බව අප තරයේ සිහියට ගතයුතුයි. ඒ දේම ඇති අපට අපේ වගකීම් නිසි පරිදි ඉටුකරන්න. විදුලිබල ක්ෂේත්‍රය හෙමින් වුවත් යන්නේ ඉදිරියටයි. එක අඟලක්වත් පසුපසට යන්න අපි සූදානම් නැහැ. ඉදිරියට යන පෙරමුණු බලඇනියක අවංක සොල්දාදුවන්ගේ වගකීම රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, විශ්වීය වර්ගයා වෙනුවෙන් අපේ යුතුකම් සහ වගකීම් ඉටු කරමු” යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

විදුලිබල අමාත්‍යාංශය 2021 නව වසරේ රාජකාරි කටයුතු ඇරඹීමේ අවස්ථාවට එක්වෙමින්, අද (01) පෙරවරුවේ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් දැක්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමත්‍යවරයා කියා සිටියේ පසුගිය වසරේ අප ගතකළ  පීඩාකාරී, අවාසනාවන්ත තත්ත්වයන් තුළින් මෙවර නව වසර අභියෝග රාශියක් සමගින් අප වෙත පැමිණ ඇති බවයි. රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව යමින්, සමස්ත දිවයින විදුලියේ එළියෙන් බලගන්වන්නට අමාත්‍යාංශ සේවක පිරිසගේ උපරිම සහයෝගය අපේකෂා කරන බව පැවසූ අමාත්‍යවරයා, විදුලිබල ක්ෂේත්‍රයක් වශයෙන් අප වෙත එල්ල වී ඇති අභියෝගයන් ජය ගැනීමට, ඊට එරෙහිව යන ගමනේ පෙරගමන්කරුවන් බවට පත්වීමට හැකි බව පැවසීය. විදුලිබල පවුලේ පීතෘත්වය ඉතාමත් ආදරණීව බාරගන්නා බවත්, හෘදසාක්ෂිට එකගව, එකම පවුලක් ලෙස සිතමින්, රටට තම යුතුකම් හා වගකීම් ඉටුකළයුතු බවත් පැවසූ අමාත්‍යවරයා, පොසිල ඉන්ධන වලින් තොර සමාජයක් අපේ අනාගත පරපුරට දායාද කිරීම අප සතු සුවිශාල වගකීමක් බවද වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා, සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යාංශ ලේකම් හේමන්ත සමරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා අමාත්‍යාංශ සේවක පිරිසද එක්වූහ.