” තම්බපන්නි දේශයේ, තම්බපවනි පවන් රොදින් විදුලි විප්ලවය ආරම්භ කළා …. “
08 0

Posted by  in Latest News

“ තම්බපන්නි දේශයේ, තම්බපවනි පවන් රොදින් විදුලි විප්ලවය ආරම්භ කළා …. 

  • පළමු LNG බලාගාරය
  • පළමු සූර්යබල උද්‍යානය
  • පළමු කසල විදුලි බලාගාරය

නුදුරේදීම ජාතියට දායාද කරනවා….

(ප්‍රථම සුළං විදුලිබල උද්‍යානය ජාතික පද්ධතියට එක්කිරීමේ ස්වර්ණමය අවස්ථාවට එක් වෙමින්, විදුලිබල අමාත්‍ය ඩලස් අලහ්පපෙරුම අවධාරණය කරයි.)

“අද දිනයේදී විදුලිබල ක්ෂේත්‍රයේ දිශානතිය පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු කරමින් තැබූ මේ යෝධ පියවර ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවේවි. ඒ වගේම අදින් ආරම්භ වූ මේ පුනර්ජනනීය විප්ලවය, මෙතනින් අවසන් වන්නේ නැහැ. සෞභාග්‍යයේ දැක්ම තුළ රට ගමන් කරන සංවර්ධනාත්මක ගමන්මගේ ඉදිරි වසර 4 ඇතුළත, තවත් විශිෂ්ඨ හැරවම් ලකුණු කිහිපයක් සනිටුහන් කරන්න අපි දැන් සූදානම්. ජනවාරි මුල් සතිය වනවිට කෙරවලපිටිය ඉදිවන පළමු එල්.එන්.ජී. බලාගාරයට මුල්ගල තැබීම, පළමු සූර්යබල උද්‍යානය සියඹලාණ්ඩුවේ ස්ථාපිත කිරීම මෙන්ම ප්‍රථම අපද්‍රව්‍ය විදුලි බලාගාරය ස්ථාපිත කිරීම වැනි බලශක්ති ක්ෂේත්‍රයේ තවත් මහානර්ඝ හැරවුම් ලක්ෂයන් රාශියක් සනිටුහන් කරන්න අපි දැන් සූදානම් යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහ්පපෙරුම මහතා අවධාරණය කරයි.

මෙගාවොට් 103 ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරමින්, මන්නාරම ඉදිවූ ප්‍රථම සුළං විදුලිබල උද්‍යානය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ජාතික විදුලිබල පද්ධතියට දායාද කිරීමේ අවස්ථාවට එක්වෙමින් විදුලිබල අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා,

අපේ ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් 2014 වසරේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා, අද එතුමන්ගේම සුරතින් එහි විජයග්‍රහණය භුක්ති විඳින ඓතිහාසික දවසක්. ඒ වගේම රටක් වශයෙන් පමණක් නොවෙයි, විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙනුත්, සාර්ථකත්වය වෙත යන ගමනේ යෝධ පියවරක් තැබූ දිනයක්. අතිගරු ජනාධිපතිතුමන් අද මෙම ස්ථානයේ නොසිටියත්, පුනර්ජනනීය බලශක්තිය මේ රටේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය බවට පත්කරන්න එතුමා ගත් තීරණයට අපි ජාතියක් වශයෙන් එතුමාට කෘතවේදීත්වය පළකල යුතුයි. සමස්ත ලෝකයම පොසිල ඉන්ධන වලින් බැහැරවීමට උත්සාහ දරන කරන මෙවන් යුගයක, සෞභාග්‍යයේ දැක්ම තුළින් ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීම සම්බන්ධයෙන් රටක් වශයෙන් අපි සතුටු වියයුතුයි. අපේ ජාතික ආර්ථිකය පුනර්ජනනීය බලශක්තියෙන් සන්නද්ධ කිරීමේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් තමයි අද මේ උදාවෙලා තිබෙන්නේ. පරිසර හානියෙන් තොර මෙම සුළං බලාගාරය දැයට දායාද කිරීමේ මෙම අවස්ථාව මිහිකතට ගරු කරන, ආදරය කරන ජාතියක් වශයෙන් මිහිකතගේ අනාගතය වෙනුවෙන් වූ ස්වර්ණමය හැරවුමක් හැටියට හදුන්වන්න පුළුවන්.

මෙම බලාගාරයේ විශේෂත්වය වන්නේ, මෙහි ව්‍යාපෘති සැලසුම් වගේම තාක්ෂණික ඥානයත් විදුලිබල මණ්ඩලය  සතු වීමයි. අපි අතීතය දෙස බැලීමේදී, විදුලිබල ක්ෂේත්‍රය මෙතෙක් ආ දිගු ගමන්මගේ විශේෂ සංධිස්ථාන රාශියක් තිබෙන බව පෙනෙනවා. 1882 පළමු විදුලි බල්බය හදුන්වාදීම, 1992 දී මෙගාවොට් 03 ක ප්‍රථම ගෑස් බලාගාරය හදුන්වාදීම, 1950 දී ලක්ෂපාන ජල විදුලි බලාගාරය ස්ථාපිත කිරීම, ලක්ෂපාන සිට කොලොන්නාව දක්වා වු ප්‍රථම සම්ප්‍රේෂණ මාර්ගය ස්ථාපිත කිරීම, 1976 දී උකුවෙල බලාගාරය ස්ථාපිත කිරීම, 2009 වර්ථමාන විදුලිබල පනත ඉදිරිපත් කිරීම වගේම 2011 දී ප්‍රථම ගල් අඟුරු බලාගාරය ස්ථාපිත කිරීම මේ අතරින් විශේෂිතයි. ඒ සියල්ලත් සමඟන් අද තැබූ මෙම රන් සළකුණ නොමැකෙන අයුරින් ඉතිහාසගත වේවි. මන්නාරම් භූමිය වැදගත් රහස් රාශියක් සගවාගත් භූමියක්.  ඒ නිසාම තමයි 2013 වසරේදී මෙම ප්‍රදේශය බලශක්ති සංරක්ෂණ කලාපයක් බවට නම් කළේ. අපේ අනාගතය දිදුලන ලකුණූ වන ගෑස් නිධි මේ භූමිය සතුයි.

අඳුරට පිළියම තමයි ආලෝකය. ඒ ආලෝකය පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගැනීමේ ජාතික අධිෂ්ඨානය මෙන්ම පොසිල ඉන්ධන වලින් බැහැරවීමේ ඒකායන අධිෂ්ඨානය අද මේ ඓතිහාසික අවස්ථාවේ ජාතියක් වශයෙන් අප සියලු දෙනාම ඇතිකර ගත යුතුයි. දුෂ්කරතා රාශියක් මධ්‍යයයේ වුවත් අද ආරම්භ කළ මෙම විප්ලවයත් සමඟින්  බලශක්ති  ස්වයංපෝශිතතාවය,  ස්වාධීනත්වය පිළිබදව දැක්මක් ඇතිකර ගැනිමට අපට හැකි වේවි.

තම්බපවනියෙන් හමා එන සුළගින් ජනිත කළ විදුලිබල ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂය තුළින්, සෞභාග්‍යයේ දැක්ම අර්ථවත් කරන්නට, ස්වාධීන දේශයක උපන්  අභිමානවත් ජාතියක් වශයෙන් එක්ව නැගී සිටීමට සමස්ත රටවාසීන්ට මම මේ අවස්ථාවේ ආරාධනය කර සිටිනවා ”යැයි පැවසීය.

මෙම අවස්ථාවට සූර්යබල, සුළං සහ විදුලි ජනන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරුන් ඇතුළු ප්‍රදේශයේ ජනතා නායකයින්ද, විදුලිබල අමාත්‍යාංශයේ සහ විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ද සහභාගි වූහ.