සෞභාග්‍යයේ එළියෙන් හා බලයෙන්  රටම පණ ගන්වන විදුලි විප්ලවය ආරම්භ කළා …
27 0

Posted by  in Latest News

සෞභාග්‍යයේ එළියෙන් හා බලයෙන්  රටම පණ ගන්වන විදුලි විප්ලවය ආරම්භ කළා …

 

 නව හරිත සහ පිවිතුරු විදුලි බලාගාර ඉදිවෙමින්, වසර 2021 දී රටේ බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සිදුවේවි ….

 

“දැන් කොළඹ වයෝවෘද්ධයි. අඩුම තරමින් මළ නලයක්වත් එලාගන්නවත්,  විදුලි රැහැන් පද්ධතියක් අදින්නවත් බැහැ.. ඒ විදියට කොළඹ වයෝවෘද්ධ වෙද්දි නව වානිජ අගනගරයක අවශ්‍යතාවය එදා අපේ ජනාධිපතිතුමා දැක්කා. ඒකට හොදම තැන හම්බන්තොට කියන එකයි එදා මහින්ද රාජපක්ෂ මහතා ගත්ත නිවැරදි  තීරණය. එම තීරණය සැබෑ කරන ක්‍රියාන්විතයේ, විදුලිබල අමාත්‍යාංශයට පැවරෙන යුතුකමක් තමයි අද මේ ඉෂ්ඨ වෙන්නේ. මේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය හම්බන්තොට  නව වානිජ අගනගර සංකල්පයට දෙන විද්‍යාත්මක තල්ලුවක්. 2021 එළඹෙන වසර මේ රටේ බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තම පරිවර්තනයක් සිදුවන වසරක් මෙන්ම, මෙවැනි කර්තව්‍යයන් තුළින් ඒ වෙනස මේ රටේ ජනතාවගේ සෞභාග්‍යමත් වෙනසත් බවට පත්කරන බව සහතික කරනවා ”යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, අද (27) පෙරවරුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ අම්බලන්තොට විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ජනතා සේවයට පැවරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

ලංකා විදුලිබල මණ්ඩලය මගින් සිය පාරිභෝගික ජනතාවගේ පහසුව සදහා අභිනවයෙන් ස්ථාපනය කරනු ලැබූ

අම්බලන්තොට නගරය කේන්ද්‍ර කරගනිමින් පිහිටා ඇති මෙම නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය මගින් අම්බලන්තොට හා ඒ අවට 23,000 කට ආසන්න පාරිභෝගික ජනතාවගේ විදුලි අවශ්‍යතා ඉතා පහසු‍වෙන් සපුරා ගත හැක. එය විදුලි අධිකාරිවරයෙකු යටතේ ක්‍රියාත්මක  වෙමින් සතියේ  දින හත  පුරාම පැය 24 ක අඛණ්ඩ සේවාවක් සපයමින් බිදවැටුම් යථා  තත්ත්වයට පත් කිරීම, නඩත්තු සේවාවන්  සැපයීම, නව සේවා  සම්බන්ධතා සැපයීම,  පාරිභෝගික ඉල්ලීම් මත විදුලි කණු මාරු කිරීම, මනු මාරු කිරීම ඇතුළු වෙනත් සේවා සැපයීමට නියමිතය.   දැනට නෝනාගම සිට හාතගල, මාමඩල දක්වා වන ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට තම සේවා අවශ්‍යතා සලසා ගැනීම  සදහා කිලෝමීටර්  20 ක පමණ දුරක් ගෙවා තංගල්ල විදුලි ඉංජිනේරු බල ප්‍රදේශයට අයත් අගුනකොළපැලැස්ස පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙතත්, නෝනගම සිට දෙහිගහලන්ද ප්‍රදේශයේ  පාරිභොගිකයින්ට කිලෝ මීටර් 25 ක දුරක් ගෙවා හම්බන්තොට පාරිභෝගික මධ්‍යස්ථානය වෙතත් පැමිණිය යුතුව තිබුණද, නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය පිහිටුවීමත් සමගම  ඉදිරියේදී ඔවුන්ට වඩාත් කඩිනම් හා කාර්යක්ෂම ‍සේවාවක් සලසා ගතහැකි වනු ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා,

“අතිගරු ජනාධිපතිතුමා සෞභාග්‍යයේ දැක්ම ජාතිය හමුවේ තැබුවේ පසුගිය වර්ෂයේයි. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙවර අයවැය ඇතුලේ මේ රටේ බලශක්තිය පිළිබදව නව පරිච්ඡේද කිහිපයක් තිබුණා. එහි ප්‍රධානතම  දේ තමයි පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කරගැනීම. විදුලි බිලේ බරත් සමගින් ව්‍යවසායකයෝ, ආයෝජකයෝ මේ ලංකාවේ ආයෝජනය කරන්න කැමති වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ තරමටම විදුලි බිලේ බර වැඩියි. එහි වැඩිම බර දරන්නේ විදුලිබල මණ්ඩලයයි. මෙය නැති කරගන්න ක්‍රමවේදය සෞභාග්‍යයේ දැක්මෙන් පෙන්නලා තිබෙනවා. තව දින 10 කින් මේ රටේ පලමු සුළං බලාගාරය විවෘත වෙනවා. ඒ වගේම පළමු එල්.එන්.ජී බලාගාරයේ වැඩකටයුතු ඉදිරි සති කිහිපය තුළ ආරම්භ කරනවා. මෙමගින් මේ රටේ බලශක්ති වංශ කතාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් වේවි” යැයි පැවසීය.

හම්බන්තොට විදුලි පාරිභෝගික සංඛ්‍යාව 229,000ක් බවත්,  නමුත් පියසි මත සූර්ය පැනල සවිකර තිබෙන්නේ 408ක් පමණක් බවත් පැවසූ අමාත්‍යවරයා, සමෘද්ධි පවුල් 100000 ක නිවාස පියසි සූර්ය බලාගාර බලට පත්කිරීමට මෙවර අයවැයෙන් යෝජනාවී ඇති බැවින් පාරිභෝගිකයා ව්‍යවසායකයෙක් බවට පත් කිරීම, මෙවර  සෞභාග්‍යයේ දැක්මේ නව අයවැයෙන් පැහැදිළිව පෙන්වා දී ඇතැයි පැවසීය.  වසර 2013 දී ලක්විජය බලාගාරය විවෘත වීමෙන් අනතරුව, මෙරටට  විදුලි බලාගාරයක් ඉදිවී නොමැති බවත්, මෙගාටොට් 300 කට අඩු ප්‍රමාණයක් පමණක් මෙම වසර 07 ඇතුළත ජාතික විදුලිබල පද්ධතියට එක්වී ඇති බවත් පැවසීය. වසරකට 5% කින් 6% කින්  වර්ධනය වන විදුලි ඉල්ලුමේ අර්බුධයට මේ මොහොතේ රජයක් වශයෙන්  මුහුණ දෙමින් සිටින අතර සැමට විදුලිය දීමේ මෙන්ම විදුලි බිලේ බර අඩුකරගැනීමේ ව්‍යායාමයක යෙදී සිටින බවත් පැවසූ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, ජනාධිපතිතුමා අමාත්‍යාංශක් හැටියට තමාට ලබා දුන් මේ අභියෝගය ඉතා නිර්භීතව බාරගෙන ඉටුකිරීමට, සූර්යබල, සුළං සහ කුඩා ජලවිදුලි බලාගාර ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය බාරව කටයුතු කරනු ලබන සිය සහෝදර රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාත්, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමුඛ විදුලබල අමාත්‍යාංශයට සම්බන්ධ අනෙකුත් ආයතනයනුත් සම්බන්ධ කරගනිමින්, එකම පවුලක් ආකාරයෙන් කටයුතු කරන බවත් අවධාරණය කළේය.

වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම අවස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත්, සාමාන්‍යාධිකාරි කීර්ති කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද සහභාගි වූහ.