විදුලිබල අමාත්‍යාංශයේ පුනර්ජනනීය වැඩසටහනට  ඉතාලි රජයේ සහාය…
28 0

Posted by  in Latest News

විදුලිබල අමාත්‍යාංශයේ පුනර්ජනනීය වැඩසටහනට

ඉතාලි රජයේ සහාය…

කසල කළමනාකරණයටද විසුමක්වන අපද්‍රව්‍ය ආශ්‍රයෙන්

විදුලිය නිපදවීමේ වැඩසටහනට ඵලදායි සාකච්ඡා ….

ඉවතලන අපද්‍රව්‍ය සඳහා වානිජමය අගයක් ලබාදෙමින්, අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවිම  තුළින් ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියට සුවිශාල දායකත්වයක් ලබාදිය හැකි බැවින් ඒ වෙනුවෙන් තම රටේ සහාය ලබාදිය හැකි බවත්, ශ්‍රී ලංකාවේ ඉතාලි  තානාපතිනි එච්.ඊ. රීටා මැනෙල්ලා මහත්මිය අවධාරණය කරයි.

තානාපතිනිය මේ බව පැවසුවේ, පසුගියදා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග පැවති නිල සාකච්ඡාවකට එක්වෙමිනි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය ලාභදායි පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමුවෙමින් පවතින බැවින්, කසල වැනි විකල්ප බලශක්ති ප්‍රභවයන්ද අත්හදා බැලීම වඩාත් යෝග්‍ය වනු ඇතැයි පැවසූ තානාපතිවරිය, ඒ වෙනුවෙන් තම රටට ආයෝජන හැකියාවක් පවතින බවත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාහට පැවසීය.

මේ වනවිට බොහෝ රටවලට දෛනිකව ඉවතලන ද්‍රව්‍ය කළමණාකරණය විශාල ගැටළුවක්ව පවතින අතර ශ්‍රී ලංකාවටද මෙම ගැටළුවට මුහුණදීමට සිදුවී ඇති බව මෙහිදී පැවසූ විදුලිබල අමාත්‍යවරයා, එම ගැටළුවට විසඳුමක් ලෙසින් මෙවැනි ව්‍යාපෘතියක් පිළිබදව සහයෝගය දැක්වීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ඉතාලි තානාපතිවරියට සිය ප්‍රසාදය ඵලකළේය. එසේම අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රකාරව ශ්‍රී ලංකා රජයේ තිරසාර බලශක්තියට ප්‍රමුඛතාවය ලබාදිය යුතුව ඇති බැවින්, අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රියාදාමය ශ්‍රී ලංකාවට වඩාත් වැඩදායි වියහැකි බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

පරිසරය අපවිත්‍රවීම මෙන්ම විශාල පරිසර දූෂණයකටද හේතුවක්වී ඇති මෙම කසල ගැටලුවට යම් ආර්ථිකමය වටිනාකමක් ලබාදෙමින්, රටේ සංවර්ධනයටද දායක කරගතහැකි ක්‍රමවේදයක් ලෙසින් කසල යොදාගනිමින් විදුලිය නිපදවිම පිළිබදව අදාළ අංශ දැනුවත්කර ඒ පිළිබදව වැඩිදුරටත් අධ්‍යයනය කරන බවත්, එය මෙරටේ නෛතික සහ සමාජමය රාමුවට මෙන්ම  විදුලිබල ක්ෂේත්‍රයට කාලෝචිත විසඳුමක් වන්නේනම්, කසල කළමනාකරණයටද විසඳුමක් ලෙසින් ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රමවේදයට ආරම්භයක් ලබාදීමට කටයුතු සලසන බවත්, අමාත්‍ය අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසිය.