“ශ්‍රී ලංකාව තිරසර සංවර්ධන අරමුණූ සඵල කරගැනීමේදි විදුලිබල ක්ෂේත්‍රයේ කාර්යභාරය ප්‍රශංසනීයයි… “
23 0

Posted by  in Latest News

“ශ්‍රී ලංකාව තිරසර සංවර්ධන අරමුණූ සඵල කරගැනීමේදි විදුලිබල ක්ෂේත්‍රයේ කාර්යභාරය ප්‍රශංසනීයයි… ”

(එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ
ශ්‍රී ලංකා නියෝජිතවරු පවසයි. )

රටක් තිරසාර සංවර්ධන අරමුණූ කරා මෙහෙයවීමේදී, එහි “පෙරගමන්කරු” විදුලිබල හා බලශක්ති අංශය බව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක, හැනා සිගර් මහත්මිය (Ms.Hanna Singer) විසින් සඳහන් කරයි.
ඊයේ (22) පෙරවරුවේ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති නිල සාකච්ඡාවකදී එම මහත්මිය විසින් මෙම අදහස් පළ කර තිබේ.
සමස්ත දිවයින විදුලියෙන් ඒකාලෝක කිරීමේ ඉලක්කය සාර්ථකව සපුරාගනිමින් සිටින ශ්‍රී ලංකාව, සිය විදුලි පාරිභෝගිකයන්ට මිල අවම, අඛණ්ඩ මෙන්ම ගුණාත්මක විදුලි සැපයුමක් ලබාදීමේ භාරධූර කර්තව්‍යය තමන් ප්‍රමුඛ විදුලිබල අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් ආයතනයන් වෙත පවරා ඇති අතර එය නිසියාකාරව ඉටු කිරීම වෙනුවෙන් අවැසි සියළු සැලසුම් සකස්කර ක්‍රියාවට නංවමින් පවතින බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී අවධාරණය කළේය.
ජනතාවගේ දෛනික අවශ්‍යතාවන් අතර විදුලියට හිමිවී ඇත්තේ අද්විතීය ස්ථානයක් බවත්, ජනතා අභිලාශයන් සපුරාලමින්, සංවර්ධන අරමුණු කරා ලඟාවීමේ මාවත වැටී ඇත්තේ විදුලිබල දායකත්වයෙන් බැවින්, රටේ විදුලි ක්ෂේත්‍රයේ ස්ථායිතාවය තහවුරු කළයුතු බවත් පැවසූ විදුලිබල අමාත්‍යවරයා, මේ වනවිට දිවයිනේ විදුලි උත්පාදන ක්‍රියාවලියේ දිශානතිය, පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවී ඇති බවත්, ඒ අනුව අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව ඉදිරි වසර කිහිපය තුළ ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනිය විදුලි ක්ෂේත්‍රයේ දායකත්වය 70% ක් දක්වා වර්ධනය කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයන බවත් පැවසීය.
තිරසාර සංවර්ධන ඉලක්කයන් හමුවේ ඇති අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාවට තම සංවිධානයේ පූර්ණ සහයෝගය ලබාදිය හැකි බව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙලේ නේවාසික නියෝජිත රොබට් ජුහ්කම් මහතා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත, රොබට් ජුහ්කම් මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.