මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඉන්දීය රජයේ මූල්‍ය හා තාක්ෂණික සහාය….
02 0

Posted by  in Latest News

මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඉන්දීය රජයේ මූල්‍ය හා තාක්ෂණික සහාය….

 

මේ වනවිට දකුණූ ආසියාවේ පැය 24ම අඛණ්ඩ විදුලි සැපයුමක් පවතින රටවල් අතර ප්‍රමුඛස්ථානයක් හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකාව බවත්, ඒ පිළිබදව තමා මහත් සතුටට පත්වන අතරම ලංකාවේ ද විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් මූල්‍ය සහ තාක්ෂණික සහාය සැපයීමට අදහස් කරන බවත්, ඉදිරියේදී ලංකාවේ ඉදිවන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් තම රටේ ඉංජිනේරු ඥාණය මෙන්ම ආයෝජකයින් යොමුකිරීමේ කාර්යය පිළිබදවද තම අවධානය  යොමුකරන බවත්, ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අවධාරණය කරයි.

අද (02) පෙරවරුවේ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමඟ අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති නිල සාකච්ඡාවකට එක් වෙමින් ඉන්දීය මහකොමසාරිස්වරයා මෙම අදහස් පළ කළේය.

දෛනිකව ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීම සදහා විදුලිබල අමාත්‍යාංශය දැන් සිටම ස්ථාවර පිළියම් සදහා යොමුවන බව පැවසූ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ක්‍රියාත්මක වන බලශක්ති ව්‍යාපෘතින් සංවර්ධනය කෙරෙහි ඉන්දීය රජයේ අවධානය යොමුවීම පිළිබදව සතුටු වන බවත්, ඉදිරියේදී ජාතික විදුලිජනන සැලැස්ම වැඩි වශයෙන් පුනර්ජනනීය බලශක්තියෙන් ම පෝෂිත කිරීමට සැලසුම් සකස් කරන බවත් වැඩිදුරටත් පැවසීය.

දෙරටේ ද්වීපාර්ශවික මිත්‍රත්වය තව තවත් තහවුරු කරමින් විදුලිබල ක්ෂේත්‍රයේ දැනුම සහ තාක්ෂණික ඥාණය ඉන්දියාව සමඟ හුවමාරු කරගැනීමට විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමා එකඟවන බවත් පැවසු අමාත්‍ය අලහප්පෙරුම මහතා මෑතකදී අභාවප්‍රාප්ත හිටපු ඉන්දීය ජනාධිපති ප්‍රනාත් මුකර්ජි මහතාගේ අභාවය වෙනුවෙන්ද ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය ශෝකය පළකරන බව වැඩිදුරටත් පැවසීය.