“විදුලි මාෆියා ෆෝබියාව සමගියෙන් කෙළවර කරමු …”
04 0

Posted by  in Latest News

“විදුලි මාෆියා ෆෝබියාව සමගියෙන්

කෙළවර කරමු …”

විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කෙරවලපිටියේදී පවසයි.

සංවර්ධනයේ අදුරු සෙවනැලි මකාලමින්, ගතානුගතික සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් සෞභාග්‍යයේ නව එළිය  පතුරුවාලන්නට අප සියලුදෙනා ජන හදට ලං වී වැඩකළ යුතු කාලය දැන් එළඹ ඇතැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (03) පස්වරුවේ කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයේ වර්ථමාන තත්ත්වය සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සදහා සහභාගි වෙමිනි. සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු විදුලිබල අමාත්‍යාංශය ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

එල්.ටී.එල්. හෝල්ඩිංග්ස්  පුද්ගලික සමාගම, එහි දශක තුනහමාරකට වැඩි ගමන්මගෙහි ශක්තිමත් හා ස්ථාවර වර්ධනයක් කරා එළඹෙමින් ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛ සමාගමක් බවට පත්ව ඇති අතර සමාගම  වසර ගණනාවක් පුරා විදුලිය ජනනය, විදුලිබල යටිතල පහසුකම් සංවර්ධනය, විදුලිය බෙදාහැරීමේ ට්‍රාන්ස්ෆෝමර් හා තාප ගිල්වුම් ගැලවනයිස් කිරීම වැනි ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ  සම්පූර්ණ හර පද්ධතිය ආවරණය කරමින් විවිධ අංශයන් වෙත ව්‍යාපාරය  විවිධාංගීකරණයට  ලක්කර තිබේ. එල්.ටී.එල් හෝල්ඩින්ග්ස් සිය දේශීය නිම්වළලු පුලුල් කරමින් බංග්ලාදේශය, ටැන්සානියාව, උගන්ඩාව, කෙන්යාව, ඉතියෝපියාව, ඝානාව, ඕමානය, ඉන්දියාව, නේපාලය, ජෝර්දානය, මියෙන්මාරය, මාලදිවයින් දූපත් හා ඕස්ට්‍රේලියාව වැනි විදේශ රටවල විදුලි බලාගාර සදහා ආයෝජනය කරමින් හා ඉංජිනේරුමය, ප්‍රසම්පාදන හා ඉදිකිරීම් කොන්ත්‍රාත්තු සම්පූර්ණ කිරීමෙන් සාර්ථකත්වයක් ලබා ඇත. ලංකා විදුලිබල මණ්ඩලයට 63% ක්, සේවක හිමිකාරීත්වය සහිත ටෙක්පෝ ආයතනයට 10% ක් සහ පෙරදෙව් ආයතනයට 27% ක් වශයෙන් එල්.ටී.එල්. හෝල්ඩිංග්ස් ආයතයේ කොටස් බෙදී ගොස් තිබේ.

දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම විදුලිබල ක්ෂේත්‍රයේ දැවැන්තයන්  හා තරගකරමින්, විශිෂ්ඨත්වයේ හිනිපෙත්ත කරා පැමිණ ඇති බව ද පැවසූ විදුලිබල අමාත්‍යවරයා,  එල්.ටී.එල්. හෝල්ඩින්ග්ස් සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය සමග සමස්ත දිවයිනටම විදුලි බලය සපයන භාරධූර කර්තව්‍යයට සාර්ථකව උරදෙමින් සිටින බවත්, පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති ස්ථාපනයට සහ සංවර්ධනයටද මහත් පිටිවහලක් වී ඇති බවත් පැවසීය.

එල්.ටී.එල්. හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ලංකාවේ විශාලතම ස්වාධීන විදුලිබල නිෂ්පාදකයා වෙමින්, කෙරවලපිටිය යුගදනවි බලාගාරය තුළින්  ජාතික ජාලයට මෙගාවොට්  300 කට වැඩි විදුලි ධාරිතාවයක් සපයමින්, දෛනික විදුලි ඉල්ලුමට සුවිශාල දායකත්වයක් සැපයීම, ලාංකීය විදුලිබල ක්ෂේත්‍රයේ වැදගත් සංධිස්ථානයක් බව පැවසූ විෂයභාර අමාත්‍යවරයා, හොදින් පුහුණුව ලද, විනයගරුක, කාර්යශූර පිරිසක් වන සමාගමේ ජ්‍යේෂ්ඨ කළමණාකරණ කණ්ඩායම හා සේවක පිරිස සමාගමෙහි ආයතනික අරමුණු කරා ළගාවීම  පිණිස දියත්කර ඇති වැඩසටහන් සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළකර සිටියේය.