මාර්තු හා අප්‍රේල් මාස සඳහා විදුලි බිල සම්බන්ධව උපරිම සහනයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
08 0

Posted by  in Latest News

මාර්තු හා අප්‍රේල් මාස සඳහා විදුලි බිල සම්බන්ධව උපරිම සහනයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් මහජනතාවට නිවෙස් තුළම රැඳී සිටින ලෙස උපදෙස් රජය විසින් ලබා දෙන ලදී. ඒ් අනුව මහජනතාව මාස දෙකකට ආසන්න කාලයක් තුළ නිවෙස් තුළ රැඳී සිටීම නිසා දෛනිකව ගෘහස්ථ විදුලි පාරිභෝජනය ඉහළ ගියේය . මහජනතාවට නිවෙස් තුළ රැඳී සිටින ලෙස උපදෙස් දුන්නේ රජය විසින් නිසා විදුලි භාවිතය ඉහළයාමත් සමග ඇති වී තිබෙන  බිල්පතේ සඳහන් වන ගාස්තු ප්‍රමාණය  ඉහළයාම නිසා මහජනතාවට දැරීමට සිදුවී ඇති බරෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (08)  ඛනිජතෙල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.

 

විදුලි බිල සම්බන්ධව පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල උපදෙස් පරිදි පත් කරන ලද පංච පුද්ගල කමිටු වාර්තාව අද දින (08)  අමාත්‍ය මණ්ඩලයට යොමු කළ බවත්, එම වාර්තාවෙන් නිර්දේශිත කරුණුවලින් එහා ගොස් උපරිම සහනයක් මහජනතාවට ලබා දීමට රජය තීරණය කරන ලද බව ද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේ දී කීය.

 

කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ඇතුළත් වාර්තාව මහාභාණ්ඩාගාරය වෙත යොමු කර ඔවුන්ගේ අදහස් හා නිර්දේශ ලබා ගැනීමටත් බොහෝ විට ලබන සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙර එම යෝජනා ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 

කෙසේ වුවද ලබා දිය හැකි උපරිම සහනය මහජනතාවට රජය විසින් ලබා දෙන අතර කිසියම් පුද්ගලයෙක් දැනටමත් තමන් විසින් බිල්පත් වැඩිපුර මුදල් ගෙවා ඇත්නම් ඒ්වා ආපසු ලබා දීමට හෝ මීලග බිල්පතෙන් පියවීමට හෝ පියවර ගැනේ. එමෙන්ම මාර්තු හා අප්‍රේල් මාස වෙනුවෙන් බිල්පත් සඳහා ගෙවීමට සහන කාලයක් ලබා දිමට ද යෝජිත අතර විදුලි බිල්පත් නොගෙවිම නිසා කිසිසේත්ම කිසිදු පුද්ගලයෙකුගේ  විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කෆළ්ය.

 

කෙසේ වුවද විදුලි මණ්ඩලය යනු රාජ්‍ය ආයතනයක් වන බැවින් එම ආයතනය අඩපණ නොවී පවත්වාගෙන යාමට ද අවශ්‍ය හෙයින් තමන්ට ලැබෙන බිල්පතින් කිසියම් මුදලක් ගෙවීමට පියවර ගන්නා ලෙස තමන් විදුලි පාරිභොගික ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

මේ අතර 2023 වනවිට ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයි කී අමාත්‍යවරයා මෙගවොට් 80ක ධාරිතාවක්  ජාතික පද්ධතියට එක් කෙරෙන කුඩා ජලවිදුලි විදුලි ව්‍යෘපෘති රැසක් ඊයේ දිනය තුළ අනුමත කළ  බවද කීවේය.