“අභියෝග වලට බයෙන් අපි යන ගමන වෙනස් කරන්නේ නැහැ…….”
25 0

Posted by  in Latest News

අභියෝග වලට බයෙන් අපි යන ගමන වෙනස් කරන්නේ නැහැ…….

විදුලි පාරිභෝගික ජනතාවට සෙතක් ඇති වන පරිදි,  අපේ වැඩ කරන ජනතාවට සතුටු වියහැකි, රටට සංවර්ධනයේ ගුණාත්මකභාවය ලබාගන්න හැකි වැඩපිළිවෙලකට යායුතුයි….

“අද රටේ බහුතරයක් අප සමග අත්වැල් බැදගෙන ජයග්‍රාහී මාවතක ගමන් කරමින් සිටිනවා …”

  පිටස්තර බලවේග වලින් මිල සූත්‍ර ඇති කරලා පාරිභෝගිකයාට ප්‍රශ්නයක් වෙන්න මම කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ….

( විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් විදුලිබල ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් අවධාරණය කරයි)

“මම විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය බාර අරන් දැනට මාස හයහමාරක් පමණ වෙනවා. මෙම කාලය තුළ නොයෙක් දේවල් නිවැරදි කරමින් යන ගමනක් තමයි මේ යන්නේ. අක්‍රමිකතා නැති කරලා, දූෂණ මගහැරලා අපි මේ ආයතන ඉදිරියට ගෙන යායුතුයි.  වැඩ කරන කෙනාට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. අපේ විදුලි පාරිභෝගිකයා විදුලිය වෙනුවෙන් මෙතෙක් ඉහළ මිලක්  ගෙවලා තිබෙනවා. අපි ඒ මිල හැකිතාක් දුරකට අඩු කරලා, රටකට අවශ්‍යවන ආකාරයේ අවම මිලක් යටතේ ක්‍රියාත්මක වන ජනන සැලැස්මකට යා යුතුයි .මේ යන ගමනේදී අපට බාධක, ප්‍රශ්න මෙන්ම අභියෝග ඇතිවිය හැකියි. නමුත් ඒ අභියෝග වලට බයෙන් අපි යන ගමන වෙනස් කරන්නේ නැහැ.  විදුලි පාරිභෝගික ජනතාවට සෙතක් ඇති වන පරිදි, අපේ වැඩ කරන ජනතාවට සතුටු වියහැකි ආකාරයේ එමෙන්ම ලංකාවට සංවර්ධනයේ ගුණාත්මකභාවය ලබාගන්න හැකි ආකාරයේ වැඩපිළිවෙලකට යායුතුයි.

අපි මේ අභියෝගාත්මක ගමනේදී විවිධ දුෂ්කරතා මතුවනවා. මුදල් අමාත්‍යාංශයෙන් අපට ලබාදිය යුතු මුදල් ලබාදෙන්නේ නැහැ. මෙම මුදල් අපට ලබා දුන්නා නම්, මීට වඩා ලාභදායි තත්ත්වයක් ඇති කරන්න තිබුණා. නමුත් අපි මේ ගමන වෙනස් කරන්නේ නැහැ. අවම මිලකට විදුලිය ජනනය කිරිම වෙනුවෙන් මේ දක්වා විවිධ බාධාවන් තිබුණා. නමුත් අද අපට ඒ තත්ත්වය වෙනස් කරන්න හැකි වෙලා තිබෙනවා. ඒ වෙනස් කිරීම තුළ තවත් වසර එකහමාරකින් ජනන වියදම රු. 23.00 සිට රු. 15.00 ක් රු. 16.00 වැනි මට්ටමකට ගෙනඒමට අපි කටයුතු කරනවා. ඒක සිදුවුණොත් එතනින්ම ලාභයක් ලබාගත හැකියි.

ඕනැම පවුලක කළු බැටළුවන් සිටියට මම වඩාත් සතුටු වන්නේ,  කිහිප දෙනෙක් හැරෙන්නට බහුතරයක් අපි සමග අත්වැල් බැදගෙන ජයග්‍රාහී මාවතක අපි සමග ගමන් කරන නිසයි. දැනගෙන ඉදිරියට යාම තුළින් තමයි සාර්ථක ගමනක් යා හැක්කේ. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් අපට වඩාත් යෝග්‍ය අදහස් ලබාදිය හැකි පිරිස් වලට මම ආරාධනා කරනවා අපට ඒ අදහස් ඉදිරිපත් කරන්න කියලා. ඒ වගේම ලං.වි.ම. සේවක පිරිස් වලට මම ස්තුතිය සහ ප්‍රණාමය පුදකරනවා. මෙතෙක් දුරක් අප පැමිණි දුෂ්කර ගමනේදී ඒ පිරිස තමයි අපට අදහස් ලබාදීලා, නිර්භීතව තීන්දු තීරණ අරගෙන කටයුතු කළේ. මෙතෙක් දුර ඒකාධිකාරයක් පැවති ලං.වි.ම. අද පාරිභෝගිකයා මූලික කරගෙන කටයුතු කරනවා.

ලං.වි.ම. රු. 23.00 කට විදුලි ඒකකයක් ජනනය කරලා, රු .16.00 කට පාරිභෝගිකයාට ලබාදීම තුළම, ඇතිවන පාඩුව පිළිබදව අපට පැහැදිළියි. අද අපට මුදල් අමාත්‍යාංශයෙන් කෝටි 8100 ක් ලැබෙන්න තිබෙනවා. ඒ නිසා අපි බැංකු වෙතින් ණය අරන් අනවශ්‍ය ආකාරයේ පොලී ගෙවනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, ලෝක බැංකුවට අවශ්‍ය ආකාරයට අපේ රට නටවන වැඩපිළිවෙල තුළින් ඔවුන් හිතනවා විදුලි බිල වැඩි කරන්න පුළුවන් වෙයි කියලා. අදක්ෂතාවය අභ්‍යන්තරව තිබෙන කොට, පිටස්තර ලෝකය ඒක පාවිච්චි කරලා,  මිල වැඩි කරලා ඒ තුළින් පාරිභෝගිකයාට ප්‍රශ්න ඇත කරන්න මට කිසිසේත්ම අවශ්‍ය නැහැ. ගෘහස්ත බිල වැඩි කිරීම වෙනුවට අඩු කළහැකි ක්‍රමවේදයක් තමයි මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ. පුනර්ජනනීය වැඩපිළිවෙල තුළින් ආගමික ස්ථාන සම්පූර්ණයෙන් විදුලි බිලෙන් නිදහස් කිරීමේ වැඩපිළිවෙලකටත් ඉදිරියේදී යොමුවෙන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාර ලෝකයේ පිරිසටත් මම ආරාධනා කරන්නේ අපි සමග එකතු වෙලා රට හදන වැඩපිලිවලට අවතීර්ණ වෙන්න කියලා. පිටස්තර බලවේග වලින් මිල සූත්‍ර ඇති කරලා පාරිභෝගිකයාට ප්‍රශ්නයක් වෙන්න මම කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. අපේ අනන්‍යතාව අපි රැකගෙන අවම මිලට විදුලිය ජනනය කරලා, පාරිභෝගියාටත් රටටත් එහි වාසිය ලබාදෙන්න මම කටයුතු කරනවා.”