Posted by superadmin in Latest News
“අප රටේ විනයක් නැහැ. කැපවීමක් නැහැ. හැමදේම නිකන් ලබාගැනීමට තමයි ජනතාව හුරු වෙලා තිබෙන්නේ……“
“ අපේ අනාගත පරපුර රැකගන්න නම්,
මත්ද්‍රව්‍ය උවදුර මුලිණුපුටා දැමිය යුතුයි ….“
රවී කරුණානායක
විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
“අපේ තරුණයන්ගෙන් අද රටට අවශ්‍ය වන්නේ, රට වෙනුවෙන් කැපවෙලා සේවයක් කිරීමයි. අද අපේ රට ශක්තිමත් කරන්න ඕනනම් වැදගත් සාධක තුනක් අවශ්‍ය වනවා. ඒ තමයි රටේ ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය සහ තරුණයා මුල්කොටගත් ආර්ථික ව්‍යුහය. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම තුළින් රටේ බියක් නොමැතිව, නිදහසේ ජීවත්වීමේ හැකියාව ඇතිකරන්න පුළුවන්. ඒ තුළින් රට තුළට විදේශ ආයෝජන ගලාගෙන එනවා. ඒ වගේම ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් රටේ සංවර්ධනය නිසි පරිදි ඉටු කරන්න පුලුවන්. ජාතික ආර්ථිකය අපි කිසිසේත්ම හෑල්ලුවට ලක්කිරීමට ඉඩ දියයුතු නැහැ. අද ලැබෙන මුදල තමයි හෙටට ආයෝජනය කරන්න පුළුවන් වෙන්නේ. අපේ තරුණයා තමයි අපේ ලොකුම සම්පත. ඒ සම්පත ආරක්ෂා කරගනිමින් හරි මාර්ගයේ ගෙනයායුතුයි. පාසල් තුළ කිසිසේත්ම දේශපාලනය කලයුතු නැහැ. දේශපාලනය පාසලේ ගේට්ටුව අසලින් නැවැත්විය යුතුයි. එහෙම නොවුනොත් සම්පූර්ණයෙන්ම අධ්‍යාපනය කඩා වැටෙනවා. මම එවකට අධ්‍යාපන අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේ ගෝලයෙක්. ඒ නිසා තමයි පුළුවන් තරම් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන්නේ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ලගම පාසල – හොදම පාසල සංකල්පයට සමගාමීව දිවයින පුරා තෝරාගත් පසල් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ කොටහේන ප්‍රින්ස් විද්‍යාලයේ ඉදිකල ගොඩනැගිල්ලක් සිසු අයිතියට පත්කිරීමට පසුගියදා පැවති උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,
“අපේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා 1978 – 79 අධ්‍යාපන ඇමති වුණ කාලේ ඉදලා අධ්‍යාපනයේ පෙරලියක් ඇති කරන්න පටන් ගත්තා. මේ රටේ තිබෙන විශේෂ ලක්ෂණයක් තමයි වැඩ කරන කෙනාට වැඩක් කරන්න දෙන්නේ නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරලා, ඒ වැඩ විකෘති කරලා කඩාකප්පල් කරනවා. නැවත වසර 15 ක් 20 ක් ගියාට පස්සේ ඒ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් වුණා. නැවතත් 2015 දී අපි අධ්‍යාපනයට වැදගත් ස්ථානයක් ලබා දුන්නා. මම මුදල් ඇමති වන අවස්ථාවේ අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන් කරලා තිබුණේ 1.8%යි. අපි ඒ ප්‍රමාණය 3.4% කට වැඩි කළා. අපි සංවර්ධනයට පමණක් කෝටි 6900 ක් වෙන් කළා. ඒකෙන් මිලියන 100 ක් ලගම පාසල හොදම පාසල බවට පත් කරන්න, අපේ අධ්‍යාපන අමාත්‍යතුමා අනගි සේවයක් කරගෙන යනවා. එහෙමයි අපි වෙනසක් ඇති කරන්නේ. අධ්‍යාපනය කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක්.
ඒ වගේම විනයක් කඩා වැටුණොත් රටක් හදන්න බැහැ. ඒක අද රට තුල කැපී පෙනෙනවා. රටට, දෙමව්පියන්ට ආදරේ නැත්නම්, එවැනි පුද්ගලයින් සිටින සමාජයක් තුළින් රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. මෙන්න මේ වෙනස තමයි අපි ඇතිකළ යුත්තේ. ඒ වගේම මත්ද්‍රව්‍ය තුළින් අද අපේ තරුණ ජීවිත සම්පූර්ණයෙන් නාස්ති වෙනවා. සමාජය අද කෙතරම් වානිජකරණය වුවත්, දෙමව්පියන් තම දරුවන් වෙනුවෙන් කාලය කැප කළ යුතුයි. නැතිනම් නොදැනුවත්වම දරුවන් මේ සදහා ඇබ්බැහි වෙලා, ජීවිත නාස්ති වෙනවා. ඒ නිසා මේ අපේ අනාගත පරපුර රැකගන්න නම්, මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමිය යුතුයි” යැයි පැවසීය.