27 0

Posted by  in Latest News

ආරක්ෂක අංශවල සේවයේ නියුතු වූවන්ට විදුලිය ලබාගැනීමේදී ප්‍රමුඛතාවය

ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක අංශවල දැනට සේවයේ නියුතු පිරිස් අතරින් තම නිවෙස් වලට තවමත් විදුලිබලය ලබානොගත් පිරිස් සදහා ප්‍රමුඛතාවයක් ලබාදෙමින්, නව විදුලි සබදතා ලබාදීමේ කාර්යය සිදුකරන ලෙස, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ අංශ වෙල උපදෙස් දී තිබේ.

ලබන අගෝස්තු මස සිට නව විදුලි සබදතා ඉල්ලුම් කිරීමේදී, අදාළ ඉල්ලුම්පත සමග සේවයේ අනන්‍යතාවය තහවුරුකර, තම නව විදුලි සබදතාව පොරොත්තු ලේඛණයෙන් බැහැරව, කිසිදු පමාවකින් තොරව ක්ෂණිකව ලබාගැනීමට ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක අංශවල දැනට සේවයේ නියුක්තව සිටින පිරිස් වෙත අවස්ථාව සැලසේ. ඒ අනුව විදුලිය ඉල්ලුම් කිරීමේදී  සේවක නම, ලිපිනය, සේවා ස්ථානය, සේවා අංකය ඇතුලත්ව තමා අදාළ සේවා ස්ථානභාර නිලධාරියාගේ සහතිකයක් සමග ඉදිරිපත් කිරීමෙන් මෙම අවස්ථාව ලබාගත හැක.

රජය විසින් ක්‍රියාත්මක කර ඇති සැමට විදුලිය ලබාදීමේ ක්‍රියාවලිය යටතේ මේ වනවිට සමස්ථයක් වශයෙන් දිවයිනේ විදුලියනය 100% ක් කරා පැමිණ තිබේ. ප්‍රධාන පද්ධතියට ලගාවීමට අසීරු ප්‍රදේශයන්හි වෙසෙන ජනතාව, විදුලිය අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස නොසිතන පිරිස් මෙන්ම නව සබදතා ඉල්ලුම් කරන ජනතාව හැරුණකොට මේ වනවිට රටේ අනෙකුත් සියලු පිරිස් වෙත විදුලිය ලබාදිමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සමත් වී තිබේ.

විදුලි පාරිභෝගික ජනතාව වෙත ගුණාත්මක, ලාභදායි මෙන්ම අඛණ්ඩ විදුලි සේවාවක් ලබාදීම සිය ප්‍රමුඛ අරමුණ කරගත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා, රට ජාතිය වෙනුවෙන් සිය ජීවිතය කැප කරමින් රට රකිනා උදාර මෙහෙවරකට උරදෙන ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක අංශ වෙත රටේ ප්‍රණාමය පුදකිරීම වෙනුවෙන් මෙසේ “රණවිරු අරුණළු” විදුලි සත්කාරය ක්‍රියාත්මක කරන බව පවසයි.