“නොරොච්චෝල බලාගාරය යළි ක්‍රියාත්මකයි. විදුලි කප්පාදුවක් නැහැ….”
21 0

Posted by  in Latest News

 ”පවතින දැඩි උෂ්ණත්වය හමුවේ ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලන්න, අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්න..”
(විෂයබාර අමාත්‍ය රවී කරුණානායක මහතා
නොරොච්චෝල බලාගාරයේ වර්තමාන  තත්ත්වය
නිරීක්ෂණයට එක්වෙමින් අවධාරණය කරයි. )
“නොරොච්චෝල බලාගාරයේ කාර්මික දෝෂය මේ වනවිට යතා තත්ත්වයට පත් කරලා තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, උප සභාපති, ඇතුළු ව්‍යාපෘතිබාර නිලධාරීන් ඉතාමත් කෙටි කාලයක් තුලදී මෙම ගැටලුව නිරාකරණය කරල දෙන්න කටයුතු කළා. මෙය සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. නොරොච්චෝල බලාගාරයේ ඇනහිටීම, මුළු රටම අඩාල කරන තත්ත්වයට පත්වුණා. මෙම වකවානුව විදුලිබල ක්ෂේත්‍රයට ලෙහෙසි පහසු කාලසීමාවක් නොවෙයි. පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් විදුලි ඉල්ලුම ඉතා සීග්‍රව ඉහළ යමින් පවතිනවා. ඒ වගේම පසුගිය වසර 05 ක කාලයක් තුළ ජාතික විදුලිබල පද්ධතියට සැලකිය යුතු දායකත්වයක් ලබාදිය හැකි එකම බලාගාරයක්වත් ඉදිවෙලා නැහැ. ඒ නිසා මම ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා, මෙම කාලවකවානුව තුළ විදුලිය ඉතාමත් අරපිරිමැස්මෙන් භාවිත කරලා, ජනතාවට අපහසුතාවක් ඇති නොවන අයුරින් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට අපට සහාය වෙන්න කියලා. ඉදිරියේදී විදුලිබල ක්ෂේත්‍රයේ මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට අපි අවශ්‍ය සැලසුම් සකස් කරනවා යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, කාර්මික දෝෂයකට ලක්ව අඩාල වූ නොරොච්චෝල විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ වර්තමාන තත්ත්වය නිරික්ෂණය කිරීම සදහා අද (21) පෙරවරුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි. පසුගිය 19 දින නොරොච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය කාර්මික දෝෂයකට ලක්වී අක්‍රීය වූ අතර පැය 36 ක් වැනි කාලසීමාවකින් එම යන්ත්‍රය අළුත්වැඩියාකර යළි ජාතික පද්ධතියට එක්කිරීම පිළිබදව සොයාබලා,  එම කටයුත්තට සහායදුන්  අංශ වෙත ස්තුතිය පළ කිරීම මෙම චාරිකාවේ ප්‍රධාන අරමුණ විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

“නොරොච්චෝල බලාගාරයේ ඇතිවී තිබූ දෝෂය යතා තත්ත්වයට පත්කරලා තිබියදීත්, විදුලි මාෆියාවක් ඇති බවට ප්‍රචාරය කරමින්, විදුලි කප්පාදුවක් ඇතිබවට ජනතාව මුලා කරමින් විදුලිබල ක්ෂේත්‍රය කඩාකප්පල් කරන්න වැඩ කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. රටක් සංවර්ධනය කරද්දි, යම් යම් අඩුපාඩු, දෝෂ ඇතිවෙනවා. නමුත් පැය 36 ක් වැනි කෙටි කාලයක් තුලදී නොරොච්චෝල බලාගාරයේ ඇතිවූ දෝෂය යථා තත්ත්වයට පත් කරන්න සමත්වීම පිළිබදව අප සතුටු වියයුතුයි.

පද්ධතියේ යම් දෝෂසහගත තත්ත්වයන් ඇතිවූ විට විදුලිය බිදවැටිම් ඇති විය හැකියි. අප ඒ තත්ත්වයන් අවම කරන්න තමයි කටයුතු කරන්නේ.  නමුත් අපි විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැහැ. ඒ පිළිබදව ජනතාව තුල යම් පිරිස් විසින් ඇතිකර ඇති අනිසි බිය නැති කළ යුතුයි. අපි මෙතෙක් හදිසි විදුලිය මිලදීගැනීමක් සිදුකළානම්, ඒ සිදුකළේ ජනතා අවශ්‍යතා ඉටුකිරීම සදහා පමණයි. මේ අවස්ථාවේදී විදුලි ඉල්ලුම වැඩිවෙලා තිබෙන නිසා සැපයුමේත් වර්ධනයක් සිදුකල යුතුයි. ඒ වෙනුවෙන් අපි විදුලිය ජනන සැලැස්ම නිසි පරිදි සකස් කරගෙන යනවා” යැයි පැවසීය.