15 0

Posted by  in Latest News

මාධ්‍ය නිවේදනය

 

කෙරවලපිටිය මෙ.වො. 300 සංයුක්ත චක්‍රීය ද්විත්ව ඉන්ධන ස්වාභාවික වායු බලාගාරයට ටෙන්ඩර් ප්‍රදානය කිරීම

  1. ලංකා විදුලිබල මණ්ඩලය සියළුම විදුලි බලාගාර ඉදි කරනු ලබන්නේ අංක 20/2009 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමත කරන ලද වසර 20ක කාලය සඳහා වන දිගුකාලීන ජනන සැලැස්මට අනුවය. දිගුකාලීන ජනන සැලැස්මට ඇතුලත් නොවන කිසිදු බලාගාරයක් ඉදි කල නොහැකි වේ.
  1. ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව කිසිදු විදුලි බලාගාරයක් තරඟකාරී ලංසු කැඳවීමකින් තොරව ඉදි කල නොහැක. මෙ.වො. 1 සූර්ය බලාගාර පවා ඉදි කරනු ලබන්නේ තරඟකාරී ලංසු කැඳවීම මගින් පමණි. එසේ නැති නම් අමාත්‍ය මණ්ඩලය අනුමත කල  පිළිගත් මිල ප්‍රමාණ යටතේ මිලදී ගනු ලබයි.
  1. 2019 වර්ෂයේදී ඉදි කිරීමට යෝජිත මෙ.වො. 300 ස්වාභාවික වායු බලාගාරය සඳහා නීත්‍යාණුකූලව ජාත්‍යන්තර ලංසු 2016.11.16 දින කැඳවන ලදී. ඉතාමත්ම තරඟකාරී තත්වයක් ඇති වූ බැවින් මෙම ටෙන්ඩරය පිළිබඳව තීරණ ගැනීමට වසර 02ක පමණ විශාල කාලයක් ගත වී ඇත.
  1. ලංකා විදුලිබල මණ්ඩලය සියළුම ටෙන්ඩර් තාක්ෂණික කමිටු, ප්‍රසම්පාදන කමිටු, අභියාචනා කමිටුව, ප්‍රසම්පාදන කොමිෂන් සභාව, මුදල් අමාත්‍යාංශය, අමාත්‍ය මණ්ඩලය, ශ්‍රේෂ්ඨාධිකරණය වැනි සියළුම කමිටු ආයතනවල නිර්දේශයට/ අනුමැතියට හෝ අධීක්ෂණයට ලක් වනු ලබයි.
  1. මේ අනුව මෙම ටෙන්ඩරය සඳහා ලංසු 08ක් ලැබුණු අතර තාක්ෂණික කමිටුවේ නිර්දේශ, ටෙන්ඩර් මණ්ඩල නිර්දේශ, ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශ, ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිර්දේශ, මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ, ආර්ථික කළමනාකරණය පිළිබඳව වන අමාත්‍ය මණ්ඩල කමිටුවේ නිර්දේශ, අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශ සැලකිල්ලට ගෙන මෙම ටෙන්ඩරය GCL, Windforce & RenewGen සමාගමට ලබා දීමට තීන්දු කර ඇත.
  1. මේ සමගම වර්ෂ 2019 ඉදි කිරීමට යෝජිත බලාගාරය පිළිබඳ ටෙන්ඩරය 2019 දක්වාම ප්‍රදානය කිරීමට නොහැකි වූ හෙයින් සහ අනුගමනය කිරීමට සිදුවන සංකීර්ණ ක්‍රියාවලිය සහ ඉදිරියේදී ඇතිවන විදුලි හිඟයද සලකා  ජනන සැලැස්මට අනුව වර්ෂ 2021 ඉදි කිරීමට යෝජිත මෙ.වො. 300 ස්වාභාවික වායු බලාගාරයද මෙම ටෙන්ඩරය සඳහා සහභාගී වූ ලක්දනවි ආයතනයටද ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. මෙම තීරණ 02ට එළඹීමේදී පසුගිය වසර 02 තුල තාක්ෂණික කමිටුවේ නිර්දේශ, ටෙන්ඩර් මණ්ඩල නිර්දේශ, ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශ, ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිර්දේශ, මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ, ආර්ථික කළමනාකරණය පිළිබඳව වන අමාත්‍ය මණ්ඩල කමිටුවේ නිර්දේශ, අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශද සැලකිල්ලට ගෙන ඇත.
  1. ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුල විවිධ කමිටුවල නිර්දේශ පදනම් කරගෙන ඉතාමත් සාධාරණව ක්‍රියාත්මක කර ඇති අතර මෙම තීරණය කිසිදු අත්තනෝමතික තීරණයක් නොවේ. රජය සියළු දෙනාටම සවන් දීමේ ප්‍රතිපත්තිය නිසා වසර 02ක් තිස්සේ සියළු පාර්ශ්ව වලට අවස්ථාව ලබා දී ගත හැකි හොඳම තීරණ ලෙස මෙය ලබා දී ඇත.
  1. මෙම ටෙන්ඩර් ප්‍රදානය කිරීමේදී චීන සමාගමකට වැඩි මුදලකට ටෙන්ඩර් ප්‍රදානය කළා යැයි විවිධ අසත්‍ය ප්‍රචාර මාධ්‍ය හරහා සිදු කරන බැවින් මෙම සියළු අසත්‍ය ප්‍රචාර අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි.
  1. මෙම එක් බලාගාරයක් ලබා දුන්නේ චීනයට නොව දේශීය සමාගමක් වන GCL, Windforce & RenewGen සමාගමටත් ඇමරිකාවේ GE සමාගමෙන් ජනන යන්ත්‍ර යොදා ගන්නා බැවින් ඇමරිකාවටත්, චීනයේ GCL සමාගමට යන පාර්ශ්ව තුනම දායකත්වය දක්වන යෝජනාවකටය.
  1. 10.  මෙරට ඇමරිකානු තානාපතිවරිය පවා මෙම ටෙන්ඩරය සාධාරණ ලෙස ලබා දීම පිළිබඳවත් ඇමරිකානු සමාගමක් වන GE සමාගමේ තාක්ෂණය පිළිබඳව විශ්වාසය තැබීම පිළිබඳවත් ප්‍රකාශකර ඇත.

11. මෙම ටෙන්ඩර් දෙක ක්‍රියාත්මක කිරීම මඟින් දේශීය සමාගම් වන ලක්දනවි සමාගම Wind Force සමාගම යන සමාගම් දෙකත් චීන සමාගමක් වන CGL සමාගමත්, ජර්මනියේ Siemons සමාගමත් ඇමරිකාවෙහි GE සමාගමත් පාර්ශව කරුවන් ලෙස දායක වනු ඇත.

12. මේ නිසා වැඩි මිළකට චීන සමාගමට ලබා දුන්නා යැයි  කරන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය වන අතර තරඟකාරී ලංසු අතුරින් අවම සරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුවට ටෙන්ඩරය ලබා දී ඇති බව මහජනයාට දක්වනු කැමැත්තෙමි.

සුලක්ෂණ ජයවර්ධන

අධ්‍යක්ෂ (සංවර්ධන) සහ මාධ්‍ය ප්‍රකාශක

විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය

2019.02.15