Posted by superadmin in Latest News
- මටත්, ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් අවශ්‍ය වන්නේ නිවැරදි නිර්භීත දේශපාලන තීන්දු ගැනීමයි.
- අද නිවැරදි දේශපාලන තීන්දුවක් නොගත්තොත්, ඉදිරි අනාගතයේදී අදුරේ යන ගමනක් තමයි යන්න වෙන්නේ.
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
“අපි හරිත බලශක්තිය පාවිච්චි කළ යුතුමයි. එය අතිවිශිෂ්ටයි. නමුත් ඒ සදහා ප්‍රායෝගික ගැටළු ගණනාවක් තිබෙනවා. මේක මට අළුත් විෂයක්. නමුත් මම ඉතාමත් සතුටින් මේ අභියෝගය භාර අරන් කටයුතු කරගෙන යනවා. මගේ ලේකම් ඇතුළු කණ්ඩායම යන මේ ගමනට නොයෙක් බාධා තිබෙනවා. එම බාධා නිවැරදි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේ නිර්භීත දේශපාලන තීන්දුවක් ගතයුතුයි. මේ තීන්දුව ගැනීමට තිබුණේ මීට වසර 05 කට පෙරයි. ඒකට හේතුව තමයි 2015,2016, 2017 සහ 2018 යන වර්ෂවලදී ජාතික පද්ධතියට එක මෙගාවොට් එකක්වත් එකතු කරලා නැහැ. නමුත් විදුලි ඉල්ලුම 6% කින් 7%කින් වර්ධනය වේගන යනවා. ඒ තුළින් ඉබේම අපි ගැටළුවකට මුහුණදීලා තිබෙනවා. මේකට අද නිවැරදි දේශපාලන තීන්දුවක් නොගත්තොත්, ඉදිරි අනාගතයේදී අදුරේ යන ගමනක් තමයි යන්න වෙන්නේ. අපිට තිබෙන විශාලම ගැටලුව තමයි නායකයෝ නිර්භීතව දේශපාලන තීන්දු නොගැනීම. එක තැනකින් තව තැනකට බෝලේ පාස් කර කර කටයුතු කිරීම තමයි සුපුරුදු විදියට කරන්නේ. නමුත් මටත් ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් අවශ්‍ය වන්නේ නිවැරදි නිර්භීත දේශපාලන තීන්දු ගැනීමයි. මොන දේශපාලන ප්‍රතිවිපාක ආවත් ඉදිරි අනාගතය වෙනුවෙන් අද ආයෝජනය කළ යුතුයි. නමුත් එය පිරිසිදුව අවම වියදමකට කළ යුතුයි කියන එක අපි අවධානයෙන් බලාගත යුතුයි “යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, අද (28) පෙරවරුවේ කොළඹ 03, ජර්මානු තානාපති කාර්යාලයේ පැවති, හරිත බලශක්ති ශූරයා – 2019 තරගාවලිය ප්‍රකාශයට පත්කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි. මෙම තරගාවලිය මගින් තෝරාගන්නා නවෝත්පාදක පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් තෝරා, ඊට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයේ. රාජ්‍ය සහ පුද්ගලික අංශ වලින් මෙන්ම සිවිල් සංවිධාන මට්ටමෙන්ද ව්‍යාපෘති යෝජනා එක්කල හැක. සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් මෙම තරගාවලිය සංවිධානය කෙරේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,
“මම විදුලිබල අමාත්‍ය ධූරය බාරගත් මුල් සතිය තුළ තරුණ පිරිසක් ඇවිත් මගෙන් ඉල්ලීමක් කළා, අපේ කුඩා ජලවිදුලි බලාගාර ආරක්ෂා කරන්න. අළුතින් දේවල් ඇති වෙන්න දෙන්නෙපා. සුළං බලාගාර ඇතිකරන්නෙපා. ඒකෙන් අපේ කුරුලු සම්පතට ගැටළු ඇති වෙනවා. මේ ගැන හිතුවම අපිට කරන්න තියෙන්නේ ඉතාමත් සීමිත දේවල් ටිකක් පමණයි. අපි විදුලිය ඒකකයක් නිපදවන්නේ රු.22.73 ක් වගේ මුදලකට. නමුත් විකුණන්නේ රු.16.32 ක් වගේ මිලකට. ඒ පාඩු තුළින් වන අපරාදය දැනගෙනත් මේකටත් ඒකම කරනවානම්, ඒක අපි කරන පාපකර්මයක් වශයෙන් තමයි මම දකින්නේ. අපේ තරුණ පිරිස් වල අනාගතය ආරක්ෂා කිරීම දේශපාලඥයින් වශයෙන් අපේ යුතුකමයි. අපි සියලු දෙනාම එකට අත්වැල් බැදගෙන ලංකාව ඉදිරියට ගෙනයන්න මාර්ගයක් සෙවිය යුතුයි. එක් ටෙන්ඩරයක් ඉල්ලුම්කරුවන් අතරින් එක් අයෙකුට පමණයි ලැබෙන්නේ. එය නොලැබුන අනෙක් ඉල්ලුම්කරුවන් එකතුවෙලා ඒ තීන්දුවට ප්‍රශ්න ඇත කිරීම තමයි අද රටේ සුපුරුදු ප්‍රශ්නය වෙලා තිබෙන්නේ. අපි මේකෙන් ඈත් වෙමු. අනාගතය සරුසාර කරන්න ඕන නම් ඉන්දියාව, බංගලිදේශය, මාලදිවයින, පකිස්ථානය වැනි රටවල් සීග්‍රයෙන් ඉදිරියට යන්නේ ඒ අය ගන්න තීන්දුව බය නැතිව ගන්න නිසයි. අපිත් එසේ ගමන් කල යුතුයි “යැයි පැවසීය.