Posted by superadmin in Latest News
- සෑමවිටම රට ඉදිරියට ගෙනයාමට නම්, අවශ්‍ය තීන්දු ගන්න ජනතාවට අවස්ථාවක් දියයුතුයි.
- රටේ ගැටලු වලට චක්‍රලේඛ නිකුත් කරන එක නෙමෙයි, ඒ ගැටලු ප්‍රායේගිකව විසදා දියයුතුයි.
- එක්සත් ජාතික පක්ෂය තරම් මේ රටේ සංවර්ධනයට මුදල් වෙන්කළ පක්ෂයක් තවත් නැහැ.
- සාධාරණ මිලකට විදුලිය ලබාදීමේ ක්‍රියාවලිය කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරලා සෑම දිස්ත්‍රික්කයකටම ව්‍යාප්ත කරනවා.
රවි කරුණානායක
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
“2018 ඔක්තෝබර් 26 දා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු කළු පැල්ලමක් ඇති වුණා. නමුත් ජනතා එකමුතුභාවය සහ අධිකරණයේ ස්වාධීනත්වය තුළ ඒ ව්‍යාජ ආණ්ඩුව ගෙදර අරින්න පුළුවන් වුණා. නමුත් ඒ කාලය තුළ ඇතිවූ ආර්ථික ප්‍රතිවිපාක පහසුවෙන් සුවකළ නොහැකියි. ජනතාවට අවශ්‍ය වන්නේ කතාව නෙමෙයි ක්‍රියාවයි. රටේ ගැටලු වලට චක්‍රලේඛ නිකුත් කරන එක නෙමෙයි කළයුත්තේ. ඒ ගැටලු ප්‍රායේගිකව විසදා දියයුතුයි. අපි මෙතෙක් කාලයක් යහපාලනය කළා. නමුත් දැන් අපි දේශපාලනය කළ යුතුයි” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පලකළේල ඊයේ (15) පස්වරුවේ රාජගිරිය ඔබේසේකරපුර, අරුණෝදය මාවත, සුබෝධි විහාරයේ පැවති පාසල් නිල ඇදුම් සහ පාසල් උපකරණ ලබාදීමේ උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,
“අද අපේ රටේ සංවර්ධනයක් සිදු වුණත්, ඇගට දැනෙන සංවර්ධනයක් සිදුවෙන්නේ නැහැ කියලා චෝදනාවක් තිබෙනවා. යම් පැතිවල සංවර්ධනය සමබරතාවයක් නොමැති බව පේනවා. මේ සදහා අපි ස්වයං විවේචනයක් තුළින් කටයුතු කළ යුතුයි. අපි තරම් මේ රටේ සංවර්ධනට මුදල් වෙන්කළ පක්ෂයක් තවත් නැහැ. අපි සෑම විටම ජනතාවට තීන්දු කිරීමට අවස්ථාව දියයුතුයි කොහොමද මේ රට ඉදිරියට ගෙනයන්නේ කියලා.
එක්සත් ජාතික පක්ෂය මේ වසර කිහිපය ඇතුළත රටේ හතරකොනේම සංවර්ධනයක් ඇති කරලා තිබෙනවා. නමුත් පෙනෙන්නේ එක කොටසක විතරයි මේ සංවර්ධනය ඇතිවන්නේ කියලා. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. මම කෝට්ටේ අවුරුදු ගණනාවක් කටයුතු කරද්දි විශාල පෙරළියක් කළා. ඒ සීඝ්‍ර සංවර්ධනය තවත් ඉදිරියට ගෙනයායුතුයි. යම් තැන්වල අදටත් එය ඇනහිටලා තිබෙනවා. එදා අපි මේ ප්‍රදේශ වලට මහල් නිවාස ක්‍රමය හදුන්වල දුන්නට ජනතාව තවමත් ඒවා භුක්ති විදින්නේ නැහැ. මේවා තමයි රජයේ නිලධාරීන් තුළ පවතින් නිලධාරිවාදය. දේශපාලඥයින් යම් යම් දේ අදහස් කරනවා. නමුත් නිලධාරිවාදය තුළින් ඒ කටයුතු නැති කරනවා. මේක තමයි රටේ පවතින් ලොකුම ප්‍රශ්නය. අපි ඒ නිලධාරීන්ගෙන් ඉල්ලන්නේ එකම දෙයයි. ඒ තමයි රටේ සංවර්ධනය ඇනහිටින වැඩ කරන්නෙපා. පාට පක්ෂ ගැන සැලකිලිමත් වෙන්නෙපා. ජනතාව විසින් දේශපාලඥයෝ පත්කරද්දි, ඒ ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්නයි අපි එන්නේ. නමුත් මේවා ක්‍රියාත්මක කරන්නෙ රජයේ නිලධාරීන් විසින්.
මට බාරදීලා තිබෙන අමාත්‍යාංශය තුළින් අපේ රට හැම කොනකම විදුලිය අවශ්‍ය පුද්ගලයින්ට සාධාරණ මිලකට විදුලිය ලබා දෙන්න මම කටයුතු කරනවා. අපි සැලකිය යුත්තේ මුදල නෙමෙයි. ජනතාවගේ අවශ්‍යතාවයයි. අපේ අහිංසක ජනතාවට සාධාරණ මිලකට විදුලිය ලබාදීමේ ක්‍රියාවලිය කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරලා සෑම දිස්ත්‍රික්කයකටම ව්‍යාප්ත කරනවා. සමහරු හිතන්නේ කොළඹට හැමදේම සර්ව සම්පූර්ණයි කියලා. නමුත් කොළඹ ජනතාවට පවතින අඩුපාඩු දැක්කම දුක හිතෙනවා. ඔබට ඇතිවෙන ගැටළු වලට සෑම අවස්ථාවකම ඔබත් සමග අපි ඉන්නවා කියලා මම ජනතාවට මතක්කරන්න කැමතියි” යැයි පැවසීය. මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලනධිකාරිය ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.