“තුන් වතාවක් විදුලිබල අමාත්‍ය ධූරය හිමිවීම, එම ක්ෂේත‍්‍රයේ වැඩකටයුතු සාර්ථකව කළ බවට හිමිවූ සහතිකයක්….”
01 0

Posted by  in Latest News

ආචාර්ය රංජිත් සියඹලාපිටිය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය


“මම මෙම අමාත්‍ය ධුරය බාර ගත්තේ 2015 දී. එදා පටන් අද දක්වා අවස්ථා 03ක් අමාත්‍ය මණ්ඩලය මාරුවීම් සිදුවුණා. මෙම අවස්ථා 03දීම විදුලිබල අමාත්‍යාංශයේ අමාත්‍ය ධූරය හිමිකරගන්න මට හැකිවුණා. විදුලිබල ක්ෂේත‍්‍රය කියන්නේ විශාල අර්බුධ රාශියක් පවතින ක්ෂේත‍්‍රයක්. ඒ වගේම විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 60 කට අධික ප‍්‍රමාණයක් පවතිනවා. මෙවර මට අමාත්‍ය ධූරය හිමිවූ අවස්ථාවේ මුලින්ම සුබපැතුවේත් ලංවිම වෘත්තීය සමිති කිහිපයක්. මම ඒ ගැන සතුටු වෙනවා. අමාත්‍යවරයෙක් අවුරුදු කිහිපයක් එකම අමාත්‍යාංශයේ කටයුතු කළා කියන්නේ, එම ආයතනයේ වෘත්තීය සමිතියකින් සුභපැතුම් ලබාගන්න ඉතාමත් අපහසු තත්ත්වයක්. කොටින්ම එම අමාත්‍යවරයාට එම අමාත්‍යාංශයට යන්න පවා අපහසු වෙනවා. නමුත් මෙවැනි විවිධ මත දරන වෘත්තීය සමිති හමුවේත්, ක්ෂේත‍්‍රයේ පවතින අර්බුධ හමුවේත්, මෙම අමාත්‍ය ධූරය තෙවරක්ම හිමිවුණා කියන එක, මෙම අමාත්‍යාංශයේ වැඩකටයුතු මම යම්තාක් දුරකට හෝ සාර්ථකව කෙරුව බවට මට ලැබුණ සහතිකයක්. මෙය මට ජීවිතයේ ලැබුණ ලොකුම සහතිකය” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශකර සිටී.

ඒ මහතා මෙම අදහස් පළකළේ, අද (01) පෙරවරුවේ මහරගම ජාතික තරුණ සේවා සභා ශ‍්‍රවණාගාරයේ පැවති, ලංකා විදුලිබල මණ්ඩලයීය විශ‍්‍රාමිකයන්ගේ සම්මේලනයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්  සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා…..,

“අද ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්. ලංකා විදුලිබල මණ්ඩලයේ විවිධ තරාතිරම්වල සේවය කර, දැනට විශ‍්‍රාම ගොස් සිටින, ආදරණීය වැඩිහිටි සහෝදර සහෝදරියන්ගේ වාර්ෂික සමුළුවට සහභාගීවීම ඉතාමත් උතුම් කටයුත්තක්. අද අපි ඉතාමත් ආඩම්බරයෙන් කතා කරනවා දකුණු ආසියාවේ සියයට සියයක් විදුලිය දුන්න, පැය 24 පුරාවටම අඛණ්ඩ විදුලියක් සපයන එකම රට අපේ රට කියලා. ඒ තත්ත්වය ලබාදෙන්න ඇපකැපවී සේවය කළ, තමන්ගේ දහඩිය මහන්සිය කැපකරපු  පිරිස තමයි මේ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක පිරිස. ඉදිරියේදීත් ලංවිම විශ‍්‍රාමික නිලධාරීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අප කැපවන බව පවසන අතරම අපගේ අවශ්‍යතා හමුවේත් ඔබතුමාලගේ සහාය අපේක්ෂා කරන අතරම විදුලිබල ක්ෂේත‍්‍රයට අති  විශිෂ්ට සේවයක් කළ විශ‍්‍රාමික නිලධාරීන් සමාජයට මගපෙන්වීමට ශක්තිය ධෛර්යය ලැබේවායි පතනවා” යැයි පැවසීය.