“මාධ්‍යවේදියා සැබෑ සමාජ ආරක්ෂකයෙක් බවට පත්කිරීමේ වැඩපිළිවෙලක ආරම්භයයි මේ…”
03 0

Posted by  in Latest News

ආචාර්ය රංජිත් සියඹලාපිටිය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය



“ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය සඳහා 2019 වසරේදී බලශක්ති කාර්යක්ෂමතා සම්මානය පිරිනමන්නයි අපි සූදානම් වෙන්නේ. අපිට තිබෙන ප‍්‍රධානම අභියෝගය තමයි අපේ නිවැරදි පණිවිඩය මාධ්‍ය තුළින්  ජනතාව අතරට ගෙනයාම. මාධ්‍ය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ යහපත් පණිවිඩ සමාජගත කිරීමයි. වානිජමය ජනමාධ්‍ය ලෝකය තුළ එම කාර්යය පහසුවෙන් ඉටු කරන්න අමාරුයි. ඒ සඳහා බාධක රැසක් පවතිනවා. යහපත් දේට වඩා මූල්‍යමය වටිනාකම් සහිත දේ තමයි වඩා ඉක්මණින් ජනතාව වෙත යන්නේ. පාඨකයාගේ රුචිකත්වය කුමක්ද යන්න ජනමාධ්‍යවේදියා වටහා ගත්තත්, ඔහුට සැමවිටම මාධ්‍ය ආයතනයේ රාමුව තුළ කොටුවීමට සිදුවෙනවා. එසේ නමුත් මාධ්‍යවේදියා සෑම විටම කටයුතු කළ යුත්තේ සමාජ ආරක්ෂකයෙක් වශයෙන්” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශකර සිටී.

ඒ මහතා මෙම අදහස් පළකළේ, ඊයේ (02) පස්වරුවේ, බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති බලශක්ති මාධ්‍ය සම්මාන එළිදැක්වීම 2019 උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි. දිවයිනේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් විසින් සුනිත්‍ය බලශක්ති ක්ෂේත‍්‍රයේ  ප‍්‍රවර්ධනය උදෙසා  ඉටුකළ සහ ඉටු කෙරෙන මෙහෙවර ඇගයීම වෙනුවෙන් මෙම බලශක්ති සම්මාන පිරිනැමීමට ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අදහස් කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා…..,


“අපේ රටේ බලශක්ති පරිභෝජනයේදී 10% – 12%  අතර ප‍්‍රමාණයක අපතේ යාමක් සිදුවෙනවා. මෙසේ සිදුවීමට ප‍්‍රධාන හේතුව තමයි පාරිභෝගික ජනතාවගේ නොදැනුවත්කම. මෙම ගැටළුව විසදිය හැකි එකම ක‍්‍රමය තමයි, ජනතාව නිසි පරිදි දැනුවත් කිරීම. ඒ සඳහා යොදාගත හැකි සුදුසුම ක‍්‍රමවේදය තමයි ජනමාධ්‍ය. මෙහිදී මාධ්‍යවේදියා සතු කාර්යබාරය ඉතාමත් සුවිශාලයි. එවන් සුවිශාල කර්තව්‍යයක් සිදුකරන මාධ්‍යවේදියා සහ මාධ්‍ය ආයතන නිසි ඇගයීමට ලක්කිරීමට තමයි අපි මේ සැරසෙන්නේ. සම්මානයට, අභිපේ‍්‍රරණයට අපි කව්රුත් කැමතියි. එසේ සම්මානයට පාත‍්‍රවීමෙන් අදාළ පුද්ගලයා විසින් ඉටුකරන  කාර්යය, තවත් සාර්ථකව ඉටුකරන්න ඔහු පෙළඹෙනවා. අන්න ඒ නිසා තමයි අපි මේ සමාජ ආරක්ෂකයා ඇගයීමට ලක්කරන්න මේ වගේ බලශක්ති මාධ්‍ය සම්මානයක් සකස් කළේ” යැයි පැවසීය.

මෙම අවස්ථාවට කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස, විදුලිබල හා පුනර්ජනිය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ යන මහත්වරුන් ඇතුළු සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ජනමාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගි වූහ