පුනර්ජනනීය බලශක්ති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනය උදෙසා පින්ලන්තයේ සහාය….
13 0

Posted by  in Latest News

සාර්ක් කලාපයේ රටවල් අතරින් 24 පැයම අඛණ්ඩ විදුලි සැපයුමක් පවතින, එමෙන්ම 100% ක් විදුලියනය වූ එකම රට ශ‍්‍රී ලංකාව බවත්, බලශක්ති අර්බුදයට ස්ථිරසාර විසඳුමක් වශයෙන් ශ‍්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් වෙත යොමුවීම සහ ඒ තුළින් මේ වනවිට ලබා ඇති ප‍්‍රගතිය සම්බන්ධයෙන් පින්ලන්තයේ ආර්ථික සබඳතා සහ රැුකීරක්ෂා නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන්  ශ‍්‍රී ලංකාව වෙත  තමාගේ  සුභපැතුම්  පිරිනමන  බවත්, පින්ලන්තයේ ආර්ථික සබඳතා සහ  රැකීරක්ෂා නියෝජ්‍ය අමාත්‍ය ගරු Petri Peltonen මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ, ඊයේ (12) පස්වරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග එම අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී පැවති ද්වීපාර්ශ්වික නිල සාකච්ඡුාවකදීය.

දෙරට අතර පවතින්නාවූ රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා තවත් තහවුරු කරගැනීමේ පියවරක් වශයෙන් මෙරට තුළ යොදාගනු ලබන පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් පිළිබඳව තම රටේ බලශක්ති ක්ෂේත‍්‍රය දැනුවත් කර, එම ක‍්‍රමෝපායයන් අනුගමනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එසේම බලශක්ති අර්බුදයට පිළියම් සොයනු වස් දේශීය වශයෙන් අනුගමනය කරන්නාවූ බලශක්ති සංරක්ෂණ ක‍්‍රමෝපායයන් පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා, විෂයභාර අමාත්‍යවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය. විශේෂයෙන්ම මුහුදු රළ මගින් විදුලිය නිපදවීම පිළිබඳව මෙම හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා පැවැත්වූ අතර මේ සඳහා පින්ලන්ත රජයේ තාක්ෂණික ඥාණය මෙන්ම සහන ණය ලබාදීමටත් කටයුතු කරන බව පින්ලන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම කරුණු වලට අමතරව මෙරටේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්තියට මෙන්ම රටවල් අතර මිත‍්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට තමා පොරොන්දු වන බවද පැවසීය. පසුගිය වසර වල ශ‍්‍රී ලංකාවේ විදුලිබල පද්ධතිය ශක්තිමත් කරමින් මෙරටේ ආර්ථික සංවර්ධනයට  පින්ලන්තය විසින් ලබාදුන් සහාය පිළිබඳව අමාත්‍යවරයා විසින් සිය ප‍්‍රසාදය පලකළේය.

පින්ලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර බලශක්ති සහයෝගීතාව තහවුරු කරගැනීම සහ වර්ධනය කරගැනීම පිළිබඳව මෙම හමුවේදී පින්ලන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා අතර වැඩිදුරටත් සාකච්ඡා කෙරිනි.

මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය        බී.එම්.එස්. බටගොඩ මහතාද සහභාගි විය.