“ලෝක බැංකුව අපට එලව එලවා සල්ලි දෙන්නේ නැහැ. අපේ කොටස් මුදලූත් ලෝක බැංකුවේ තියෙනවා…”
12 0

Posted by  in Latest News

රංජිත් සියඹලාපිටිය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය

ලෝක බැංකුව දියුණූවෙමින් පවතින රටවලට විශේෂයෙන් උදව් කරනවා. නමුත් ඔවුන් මේ උදව් කරන්නේ නිකම්ම නෙමෙයි. මේවා දෙන්නේ ණය හැටියට. අඩු පොලියක් යටතේ හෝ පොලී රහිතව ලබාදෙන එක විතරයි සහනයකට තිබෙන්නේ. මොන ආණ්ඩුවක් පත් වුණත්, අයවැය පරාජය වුණත් අපි ඒවා ගෙවන්න  ඕන. විශේෂයෙන්ම ජනතාවගේ සහභාගීත්වයෙන් සිදුකරනු ලබන ප‍්‍රජා සහයෝගීතා ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන්න හරි අමාරුයි. නමුත් රජයේ සංකල්පයක් වශයෙන් ලෝක බැංකු ණය ආධාර මත ක‍්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති සාර්ථක කරගැනීමට පක්ෂ, පාට, භේද නොසලකා අපි කටයුතු කළ යුතුයි. ලෝක බැංකුව අපට හොයාගෙන ඇවිත් එලවා එලවා උදව් කරන ආයතනයක් නෙමෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය රටවල් විසින් මුදල් යොදවලා, තමන්ගේ ප‍්‍රයෝජනයට හදාගත්ත බැංකුවක්. අපිත් ඒකට කොටස් යොදවලා සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශකර සිටී.

ඒ මහතා මෙම අදහස් පළකළේ, රඹුක්කන ප‍්‍රදේශයේ පැවති ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි. නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ඉදිවන මෙම ව්‍යාපෘතිය වසරක් ඇතුලත නිම කිරීමට සැලසුම් කර ඇති අතර මෙමගින් ප‍්‍රදේශයේ පවුල් 759 කගේ ජල අවශ්‍යතා සැපිරේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා..,

“මම විදුලිබල අමාත්‍යාංශය බාරගනිද්දි ලක්ෂ දෙකහමාරක් ජනතාවට විදුලිය තිබුණේ නැහැ. ඔවුන්ට විදුලිය ගන්න මුදල් තිබුණේ නැහැ. මට සංකල්පයක් පහළවුණා මේ රටේ සියළු ජනතාවට විදුලිය දෙන්න. ඔවුන්ට මුදල් නැතිනම් පහසු ගවීමේ ක‍්‍රමයට විදුලිය දෙන්න. මම ඒ සංකල්පය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා, අනුමැතිය අරන්, විදුලිබල මණ්ඩලයේ සමස්ත නිලධාරීන් දවල් නොබලා ඒ සංකල්පය ක‍්‍රියාත්මක කළා.  ඕනෑම කෙනෙකුට සංකල්ප බිහිවෙන්න පුළුවන්. නමුත් සංකල්පයක් ක‍්‍රියාත්මක කරන්න ශක්තිය, හැකියාව තිබෙන්නේ රජයකට හෝ රාජ්‍ය අනුග‍්‍රහය සහිත ආයතනයකට පමණයි” යැයි පැවසීය.