Posted by superadmin in Latest News
රංජිත් සියඹලාපිටිය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
‘අද මම මේ උත්සාහ කරන්නේ, එක කාරණාවක් ඉෂ්ඨ කරලා අරමුණු දෙකක් සාර්ථක කරගන්න. විදුලිය නැති තැනකට විදුලිය දෙන්න පමණක් නෙමෙයි මේ හදන්නේ. අද පටන් මේ පාසල විදුලි බලාගාරයක් බවට පත්කරන්නයි අපි මේ හදන්නේ. මේක අපේ රටට ඉතාමත් යහපත් කටයුත්තක්. අපේ රටේ දැන් විදුලිය නොමැති නිවසක් නැති තරම්. ඉන්දියාවේ දිනකට පැය 06 ක් විදුලිය කපනවා. පකිස්ථානයේ පැය 5 1/2 ක් විදුලිය කපනවා. නමුත් දකුණු ආසියාවේ 100% ක් විදුලිය දුන්න, පැය 24 ම අඛණ්ඩව විදුලිය සපයන එකම රට ශ‍්‍රී ලංකාව කියලා අද අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන්. මේ වගේ විදුලි සැපයුමක් වෙනුවෙන් වඩාත් යහපත් ආකාරයේ උත්පාදන මාර්ගයක් සකසා ගතයුතුයි. ඒ නිසා තමයි මම, සූර්යබල සංග‍්‍රාමයත්. සුළංබල මෙහෙයුමත් ආරම්භ කළේ. ඒ වගේම විදුලි නිෂ්පාදනය සඳහා අපි දැන් ජලය උපරිමයෙන් යොදාගෙන තිබෙනවා’යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශකර සිටී.
ඒ මහතා මෙම අදහස් පළකළේ, අද (02) පෙරවරුවේ, කෑගල්ල සිරිසමන් විද්‍යාලයට සූර්යබල විදුලි පද්ධති ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා..,
‘දැන් අපි උත්සාහ කරන්නේ ජලය හැරුණකොට ඊලඟට තිබෙන මිල අවම පුනර්ජනනීය බලශක්ති ක‍්‍රමය උපයෝගී කරගන්න. ඒ තමයි සූර්ය බලය සහ සුළං බලය. සූර්යබල සංග‍්‍රාමය හැමදෙනාටම වඩාත් යහපත්. ඒ වගේම ලාභදායි දෙයක්. හැම කෙනෙක්ටම සූර්යබල පද්ධති ලබා ගන්න පුළුවන්. ඒ සඳහා මුදල් නැත්නම් බැංකු ණය ලබාදෙනවා. බැංකු වලට යන්නත් අපහසු නම් තමන්ගේ වහලට සූර්යබල පද්ධති සවිකිරීම සඳහා කුළියට දෙන්න පුළුවන්. ඒ තුළින් ජනතාවට හොඳ ආදායමක් ලබාගන්නත් පුළුවන්. ජනතාවට ඒ වගේ ආදායම් මාර්ගයක් සැලසීම වගේම දේශපාලනමය වශයෙන් මම මේ ඉටු කරන්නේ යුතුකම්ක්. කෑගල්ලේ ජනතාව වසර 18ක් එකදිගට මාව පාර්ලිමේන්තුවට තෝරාපත් කළා. ඒ වෙනුවෙන් කෘතගුණ සැලකීමක් වශයෙන් කෑගල්ල දිස්ත‍්‍රික්කයේ සෑම නිවාස පියස්සක්ම විදුලි බලාගාරයක් බවට පත්කිරීමට කටයුතු කරනවා’යැයි පැවසීය.