Posted by superadmin in Latest News
රංජිත් සියඹලාපිටිය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
‘සමස්තයක් වශයෙන් ගත්කළ සෑම වසරකම ලංකාවේ විදුලි ඉල්ලූම 10% කින් වැඩි වෙනවා. මේ වසරේ එම ඉල්ලූම තවත් වැඩිවෙලා තියෙන්නේ, මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන්. ආලෝකය සඳහා පමණක් නෙමෙයි උෂ්ණත්වය පාලනය කිරීම වෙනුවෙනුත් වැඩිවන විදුලි ඉල්ලූම නිසි ආකාරයෙන් සපුරාලන්න හැකි ආකාරයේ උත්පාදන මාර්ගයකට යොමු විය යුතුයි. එසේ යොමුවන උත්පාදන මාර්ගයෙන් මාර්ගයෙන් විදුලිබිල අවම කරනවා වගේම එය ජාතියටත් වැඩදායි වියයුතුයි. ඒ ආකාරයෙන් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරන්නයි මම සූර්යබල සංග‍්‍රාමය ආරම්භ කළේ’ යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශකර සිටී.
ඒ මහතා මෙම අදහස් පළකළේ, අද (03) පෙරවරුවේ, රඹුක්කන පින්නවල මහා විද්‍යාලයට සූර්යබල විදුලි පද්ධති ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා..
‘මෙතෙක් පැවති අධිකම විදුලි ඉල්ලුම වශයෙන් මෙගාවොට් 2611 ක විදුලි ඉල්ලමක් පසුගිය මාසයේදී අපට වාර්තා වුණා. වාර්ෂිකව වැඩිවන විදුලි ඉල්ලූම වගේම පාරිසරික තත්ත්වයන් මත වැඩිවන මෙවැනි විදුලි ඉල්ලූම් අපි ක්ෂණිකව සපුරාගත යුතුයි. මේ වනවිට අපි විදුලිය නිපදවීමේ ප‍්‍රධාන මාර්ගය වශයෙන් ජලය යොදාගෙන තිබෙනවා. මේ වනවිට සමස්ත විදුලි උත්පාසනයෙන් 40% ක් නිපදවෙන්නේ ජලයෙන්. ඊට අමතරව විදුලි උත්පාදනය සඳහා ඞීසල් සහ ගල් අගුරු යොදාගනු ලබනවා. මේ තුළින් වායු දුෂණයක් සිදුවන අතරම අධික මිලක් විදේශයන් කරා යොමු වෙනවා. එසේ වැයවන මුදල් අවම කරගැනීමට හැකි ආකාරයේ අවම මිලක් සහිත පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් වෙත අපි යොමුවිය යුතුයි. ඒ නිසා තමයි සූර්යබල සංග‍්‍රාමය සහ සුළංබල මෙහෙයුම ආරම්භ කළේ. මම විෂයභාර අමාත්‍යවරයා වනවිට 276,000 කට විදුලිය තිබුනේ නැහැ. ඒ පිරිසට විදුලය ලබාගන්න පැවති අපහසුතාවන් සොයා බලා මම ඒවට පිළීයම් යෙදුවා. ඒ අනුව විදුලිය ඉල්ලන 100% කටම විදුලිය සපයා දුන්න, පැය 24ම අඛන්ඩව විදුලිය සපයන, දකුණු ආසියාවේ එකම රට බවට ලංකාව පත් කරන්න අපට හැකිවෙලා තිබෙනවා’ යැයි පැවසීය.