Posted by superadmin in Latest News
“අද අපි සුළංබල මෙහෙයුම ජාතික වශයෙන් ආරම්භ කළා. අපි මේ කරන්නේ මීට දශක ගණනකට කළින් කරන්න තිබුණ දේවල්. ඒ නිසයි අපි මේ ආරම්භ කරන ජාතික කර්තව්‍යයන් සඳහා සංග‍්‍රාම, මෙහෙයුම වගේ නම් දාන්නේ. මේවා ආරම්භ කළයුතු කාලය අවසන් නිසා, අප මේවා සංග‍්‍රාම ආකාරයෙන් ඉතාමත්ම කඩිනමින් මෙන්ම එකමුතුව සහ එක්සිත්ව ඉටුකළ යුතුයි. මේ වනවිට ලංකාවේ විදුලිබල උත්පාදනයේ දිශානතිය පුනර්ජනනීය බලශක්තිය දෙසට යොමුවෙලා තිබෙනවා. මේ සඳහා උපයෝගී කරගනු ලබන ප‍්‍රධානතම පුනර්ජනනීය ප‍්‍රභවයන් වශයෙන් ජලය, හිරු එළිය සහ සුළං හඳුන්වා දියහැකියි. මේ වනවිට අපි විදුලිය නිෂ්පාදනය කිරීම ස\හා ජලය උපරිමයෙන් යොදාගෙන තිබෙනවා. ඒ වගේම සූර්යබලයෙන් විදුලිය නිෂ්පාදනයත් ඉතාමත් සීග‍්‍රයෙන් ලංකාව පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ අතර තමයි මේ සුළංබල මෙහෙයුම අපි ආරම්භ කළේ. අපේ ඉලක්කය 2020 වෙද්දි මේ රටේ විදුලිබල නිෂ්පාදනයෙන් 30% ක් පුනර්ජනනීය බලශතක්තියෙන් උත්පාදනය කරන්නයි. 2030 දී මෙය 50% දක්වා වැඩිකළ යුතුයි. ඒ සඳහා සුළංබල මෙහෙයුමෙන් විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.
ඒ මහතා මෙම අදහස් පළකළේ, හම්බන්තොට, බරුතකන්ද ඉදිකළ සුළංබල උද්‍යානයේ පැවති සුළංබල මෙහෙයුම ජාතික උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා ..,
“අපේ රට දිවයිනක්. රට වටේටම මුහුද. ඒ නිසා සුළං හොඳින් ලැබෙනවා. අද සිට ජනතාවට හැකිවෙනවා, සූර්යබල සංග‍්‍රාමයේ කොන්දේසි මතම සුළංබල විදුලි නිෂ්පාදනයටත් දායක වෙන්න. ජනතාවට අපි ආරාධනා කරනවා මෙම කාර්යයට වැඩිවැඩියෙන් දායක වෙන්න කියලා. ඒ වගේම සුළංබල මෙහෙයුම සඳහා අවශ්‍යවන ටර්බයින මේ රටේම නිෂ්පාදනය කරන්න අපි අපේ නිෂ්පාදක ප‍්‍රජාව වැඩිවැඩියෙන් උනන්දු කරනවා. සිදුවන තවත් විශේෂ දෙයක් තමයි අද වෙනකල් පැවතුන මේ බරුතකන්ද සූර්යබල උද්‍යානය, අද සිට පුනර්ජනනීය බලශක්ති උද්‍යානයක් බවටත් පත්වෙනවා. අපේ දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් මේක දැනුම වර්ධනය කරන, පර්යේෂණ උද්‍යානයක් බවට පත්කරගන්න පුළුවන් ” යැයි පැවසීය.
මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ප‍්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගි වූහ.