Posted by superadmin in Latest News
රංජිත් සියඹලාපිටිය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
“යහපත් පණිවිඩ සමාජගත කරන්න එක උඩුගං බලා පීනනවා වගේ හරි අමාරුයි. ජල විදුලිබලය නිපදවන්න, ජල විදුලිබලය හොඳයි කියලා සමාජගත කරන්න එදා විමලසුරේන්ද්‍ර මහතා මහා යුද්ධයක් කළා. එතුමා මේ ගැන සැලසුම් හදලා ඉදිරිපත් කළත් සුද්දා පිළිගත්තෙ නැහැ. එතුමා බැරිමතැන ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවට ඇවිත්, එතන ඉඳලා තමයි ජල විදුලිබල සංකීර්ණය හැදුවේ. සූර්යබල සංග‍්‍රාමයත් ඒ වගේ තමයි. එදා විමලසුරේන්ද්‍ර මහතා පාර්ලිමේන්තුවේ ඉඳලා ජල විදුලිය නිපදවන ව්‍යායාමය සාර්ථක කරගත්තත්, අද මම මේක පාර්ලිමේන්තුවේ ඉඳලා මෙහෙයවලත් සූර්යබල සංග‍්‍රාමය දිනන්න හරි අමාරුයි” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.
ඒ මහතා මෙම අදහස් පළකළේ, පසුගියදා කෑගල්ල දිස්ත‍්‍රික්කයේ යටියන්තොට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට සූර්ය විදුලි පද්ධති ලබාදීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා..,
“අපිට ගෑස් වලින් විදුලි ඒකකයක් නිපදවන්න රු. 40.00 කටත් වඩා වැය වෙනවා. නමුත් ජලයෙන් පුළුවන් රු. 4.00 කට. ඒ වගේම ගෑස් විදුලිබල නිෂ්පාදනයෙන් සිදුවන පරිසර හානියත් ඉතා විශාලයි. මේ වෙද්දි අපි ජලවිදුලිබල නිෂ්පාදනයේ උපරිම මටට්මට පැමිණ තිබෙනවා. මේ වෙද්දි ජලවිදුලි නිෂ්පාදනය වෙනුවෙන්වන ජල පෝෂක සියල්ල අවසන් වෙමින් පවතින්නේ. බ්‍රෝඞ්ලන්ඞ් හදලා, මොරගොල්ල හදලා අවසානේ සීතාවක ව්‍යාපෘතියත් නිම කළාම, ජල විදුලි නිෂ්පාදනය සඳහා යොදාගතහැකි ජල මූලාශ‍්‍ර සියල්ලම අවසන් වෙනවා. කුඩා ජල විදුලි බලාගාරත් මේ වෙද්දි විශාල ප‍්‍රමාණයක් ස්ථාපිත කර අවසන්. බ්‍රෝඞ්ලන්ඞ් හදද්දි ලොකු ගැටළුවක් මතු වුණා වෝටර් රාෆ්ටින් වලට අවහිරයි කියලා. නමුත් මේ වෙද්දි පෙරටත් වඩා හොදින් වෝටර් රාෆ්ටින් කරන්න හැකිවෙලා තිබෙනවා. ඒ සිද්ධිය ආදර්ශයට අරන්, යහපත් දේවල් කරන්න හදද්දි, අනවබෝධයෙන් කටයුතු නොකර, යහපත් දේ සමාජගත කරන්න උදව්දීලා රටටත් තමාටත් යහපතක් උදාකර ගන්න එක්වෙන්න සෑම දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා පතනවා, යැයි පැවසීය.
මෙම අවස්ථාවට ප‍්‍රදේශයේ දේශපාලනාධිකාරිය. ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ප‍්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගි වූහ.