“සූර්ය විදුලිබල නිෂ්පාදනය සමාජගත කරන්න පූජනීය ස්ථානයන්ට සහ රාජ්‍ය ආයතනයන්ට සූර්ය විදුලි පද්ධති…”
12 0

Posted by  in Latest News

රංජිත් සියඹලාපිටිය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය

“සූර්ය විදුලිබල නිෂ්පාදනය රටට, පරිසරයට වගේම පුද්ගලික වශයෙන් ජනතාවටත් ඉතාමත් ලාභදායි ක‍්‍රියාවලියක්. අපේ ප‍්‍රධාන ඉලක්කය තමයි නිවාස දසලක්ෂයක පියසි විදුලි බලාගාර බවට පත්කිරීම. මෙම සූර්ය බලශක්ති සංකල්පය ඉතාමත් හොඳ, ලාභදායි සංකල්පයක්. නමුත් ජනතාව මේ ගැන ඒ තරම් හිතන්නේ නැහැ. සාමාන්‍යයන් අවැදගත් සිද්ධියක් සමාජගත වීමට ලොකු වෙලාවක් යන්නේ නැහැ. අසුරුසැනින් ඒ වගේ නිෂ්ඵල දේවල් සමාජගත වෙනවා. නමුත් මේ වගේ සංකල්පයන් සමාජගත කිරීම උඩුගංබලා පීහිනීමක් වගෙයි. ඒ නිසා සෑම නිවසක්ම බලාගාරයක් බවට පත්කරන අතරම දිවයිනේ පුජනීය ස්ථානයන්ට සහ ප‍්‍රධාන රාජ්‍ය ආයතනයන්ට සූර්ය විදුලි පද්ධති ලබාදීම තුළින් ජනතාව මේ පිළිබඳව දැනුවත් කිරීමට අපි ක‍්‍රියා කරනවා. අද දවසේ අපි කෑගල්ල දිස්ත‍්‍රික්කයේ සියළුම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වලට සූර්ය විදුලි පද්ධති ලබාදුන්නා. අදින් පස්සේ මෙම කාර්යාල වල විදුලිබිල රු.0ක් වනවා වගේම මෙහි සේවය කරන පිරිස් තුළින් මෙම සූර්යබල සංකල්පය සමාජගතවීම වඩා හොඳින් සිදුවී ලංකාවේ නිවැසියන් සූර්ය විදුලිබලාගාර අධිපතිවරුන් වන දිනය මෑතකදීම උදාවේවි” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ, පසුගියදා කෑගල්ල දිස්ත‍්‍රික්කයේ සියළුම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වලට සූර්ය විදුලි පද්ධති ලබාදීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා..,

“සූර්යබල සංග‍්‍රාමය කියන යහපත් සංකල්පය අපි මේ වනවිට යම් මට්ටමකින් සමාජගතකරමින් සිටිනවා. අපේ රටේ 40% ක් ජල විදුලියයි. නමුත් වසර 03 සිට අපේ වර්ෂාපතනයේ සමතුලිතතාවයක් පවතිනවා. මේ අතරේදි අපි ජලාශ ප්‍රදේශවලට වැසි වස්සන්නට ක‍්‍රියාකරනවා. මේ සඳහා පේටන්ට් බලපත‍්‍රය තිබෙන්නේ තායිලන්තයටයි. 1950 සිට ඒ රටේ වැසි ඇති කිරීම සිදු කරනවා. වලාකුළින් පිරුණ අහසේ ඒ වළාකුළු ඉවත යාමට නොදී, අපිට අවශ්‍ය තැනට වැසි වස්සන්න මේ වැසි ඇතිකිරීම මගින් සිදුකිරීමට පුළුවන්. සූර්යබල සංග‍්‍රාමය කියන්නෙත් ඒ වගේ ව්‍යායාමයක් තමයි. සූර්ය බලයෙන් හැකි උපරිමයෙන්ම ප‍්‍රයෝජන ගන්න තමයි මේ හැම හිරු කිරණකින්ම විදුලිබලය නිපදවන්න අපි සූර්යබල සංග‍්‍රාමය ආරම්භ කළේ.  නිවසක නිපදවන එක් විදුලි ඒකකයක් සඳහා රු. 22.00 මුදලක් ගෙවන්න ලංකා විදුලිබල මණ්ඩලය එකඟවෙලා තිබෙනවා. මේක හොඳ මුදලක්. පුද්ගලික බලාගාර වලට මේ මිල ගෙවනවනම් පෝලිමේ එයි” යැයි පැවසීය.