Posted by superadmin in Latest News
අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලිබල උත්පාදනයට සිදු වන බාධා මඟහරවමින් අඛණ්ඩ ජල විදුලිබල උත්පාදනයක් වෙනුවෙන් තායිලන්ත රජයේ තාක්ෂණික සහයෝගය මත ශ‍්‍රී ලංකාව තුළ කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන සමුළුව, පසුගිය දා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ‍්‍රයේ දී පැවැත්විණි.
මෙම සමුළුවේ දී අදහස් දැක් වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා……
”අපේ රටේ මුළු විදුලි නිෂ්පාදනයෙන් 40% වැඩි ප‍්‍රමාණයක් ජල විදුලි නිෂ්පාදනයක් පැවතීම අප වඩාත් සතුටු විය යුතු කරුණක්. අපේ එම විදුලි නිෂ්පාදන වියදම, විවිධ නිෂ්පාදන හරහා බෙදී යාම මඟින් ඉතා අඩු නිෂ්පාදන වියදමකින් යුතුව, පරිසරයට ඉතාමත් හිතකාමීව විදුලිය නිෂ්පාදනය කරගත හැකි වුව ද වසර කිහිපයක සිට පවතින වැසි රටාවේ වෙනස් වීම විශාල ගැටලූවක්. වසර ගණනාවකින් ඊසාන දිග මෝසම ක‍්‍රියාත්මක වී නොතිබීම නිසා 2016 වර්ෂයේ දී අපේ රටේ මුළු ජල ධාරිතාව 26% දක්වා අවම වුණා. මෙවැනි හේතූන් නිසා 1950 වන විටත් කෘත්‍රිම වැසි ඇති කිරීම සම්බන්ධයෙන් පේටන්ට් බලපත‍්‍රය සහිත ලෝකයේ එකම රට වන තායිලන්තයේ තාක්ෂණික ආධාර සහිතව ලංකාවේ කෘත්‍රිම වර්ෂාව ඇති කිරීමට ක‍්‍රියා කිරීම මඟින් ජල විදුලි නිෂ්පාදනය, කෘෂිකර්මය හා පානීය ජලය යන අංශයන් තුනට ම විශේෂ යහපතක් සිදු වනු ඇතැයි අපේක්ෂා කරනවා යැයි” පැවසීය.
මෙම සමුළුව සඳහා තායිලන්ත තානාපතිනිය වන චුලමනි චාට්සුවර් (Chulamanee Chartsuwar) සහ තායිලන්තයේ වැසි ඇති කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු විශේෂඥ පිරිසක් සහභාගී වූ අතර මේ සම්බන්ධ තාක්ෂණික දැනුම ලබාගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, මහවැලි අමාත්‍යංශය, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව ආදී ආයතන රැසක විශේෂඥයින් හා තාක්ෂණවේදීන් සහභාගී විය. මෙම සමුළුවේ දී විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්.බටගොඩ මහතා ඇතුලූ පිරිසක් ද සිය අදහස් දැක්වීය.