“සේවක පිරිස් තෘප්තිමත් වන ආකාරයෙන් ලංවිම ප‍්‍රසාද දීමනා ලබාදෙනවා….”
15 0

Posted by  in Latest News

විෂයභාර අමාත්‍ය සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

“ආයතනයක වැදගත්ම සම්පත තමයි එම ආයතනයේ මානව සම්පත. ඒ මානව සම්පත තෘප්තිමත් භාවයෙන් වගේම ධෛර්යයෙන් සිටීම තමයි එම ආයතනයට වඩාත් වැදගත් වන්නේ. ඉහළ කලමනාකාරීත්වයේ සිට අප සැම දෙනාටම ලොකු වගකීමක් තිබෙනවා මේ ආකාරයට ආයතනයක් තුළ තෘප්තිමත් මානව සම්පතක් ඇති කර ගැනීම සම්බන්ධව. සේවක පිරිස් ධෛර්යමත් කිරීමේ මෙන්ම තෘප්තිමත් කිරීමේ දීමනාවක්, වරප‍්‍රසාදයක් තමයි ප‍්‍රසාද දීමනාවක් කියන්නේ. මගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම්තුමා ලංවිම පාලනාධිකාරියට උපදෙස් මාලාවක් යොමු කළා ලංවිම සේවක ප‍්‍රසාද දීමනා සම්බන්ධයෙන්. ඒ අනුව මම බලාපොරොත්තු වෙනවා ඊලඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී සේවක පිරිස් තෘප්තිමත් වන ආකාරයෙන් මෙම ප‍්‍රසාද දීමනා ලබාදෙන්න හැකිවේවි කියලා. රටට විදුලිය අඛණ්ඩව සපයනවා වගේම සාමාන්‍යාධිකාරවරයාගේ මුහුණේ දකින සිනහව, රෑ දවල් නොබලා විදුලි කණු නගින සේවකයාගේ මුහුනේත් දකින්නයි මට අවශ්‍ය වෙලා තිබෙන්නේ” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ මහතා මේ බව අවධාරණය කළේ, අද (14) පෙරවරුවේ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ පැවති, වසර 30 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කළ ලංවිම සේවක සේවිකාවන් ඇගයීම උදෙසා රන් තිලිණ ප‍්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි. මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාද සහභාගි විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා …,

“රටට ඉතාමත් වැදගත් ආයතනයකට වසර 30 කට අධික කාලයක් සිය කාලය, ශ‍්‍රමය කැප කරලා, ශ‍්‍රී ලංකාව ආලෝකමත් කරලා, ලංකා විදුලිබල මණ්ඩලයීය නිලධාරි මහත්ම මහත්මීන් ඒ සඳහා රනින් පිදුම් ලබන දිනයයි. එවන් විශිෂ්ට සේවයක් කරපු පිරිසක් ඇගයීමට ලක් කරන අවස්ථාව මට ඉතාම වැදගත්.  මම මේ අමාත්‍යාංශය බාර අරන් වසර 2 කට අධික කාලයක් ගතවුණා. මේ කාලසීමාව තුළ මම ඔබ සමග එකතු වෙලා බොහෝ ජයග‍්‍රහණ ලබා ගත්තා. බොහෝ අභියෝග වලට මුහුණ දුන්නා. ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන්  බොහෝ දේ අපට තිබෙනවා. වර්තමානයේ කතා නොකලත්, අනාතගයේදී ඒවා කතා කරයි. අද අපේ ආයතනයේ අනියම් සේවකයෝ නැහැ. කොන්ත‍්‍රාත් සේවකයෝ නැහැ. අපි ඉතාමත් විනිවිදභාවයෙන් යුක්තව අපේ ආයතනයේ කටයුතු ඉදිරියට ගෙනයනවා. සමහර අවස්ථා වලදී මේ රටේ ජනතාවට නොදන්වාම අපි බොහෝ ගැටළු විසඳාගත්තා. පසුගිය සමයේ ඇතිවූ නියඟය එවැනි එක් ගැටළුවක්. නමුත් ලක්ෂ 60ක් වූ පාරිභෝගිකයන්ට නොදැනෙන පරිදි අපි ඒ ගැටළු විසඳ ගත්තා. විසිපන්දහසක් සේවය කරන, වෘත්තීය සමිති 60 ක් පවතින ආයතනයක විවිධාකාර මතිමතාන්තර ඇතිවිය යුතුමයි. නමුත් අපි සියළුම ප‍්‍රශ්න විසඳාගත යුත්තේ වැඩි දෙනෙකුට ජයග‍්‍රහණය කිරීමේ ආකාරයටයි. සෑම ප‍්‍රශ්නයකටම ලැබෙන පිළිතුර සෑම දෙනාටම සිනහවෙන් බාරගත හැකි එකක් විය යුතුයි” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.