16 0

Posted by  in Latest News

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා
ලං.වි.ම. වර්ජකයන්ගෙන් ඉල්ලා සිටියි.

මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලයේ අපේ සහෝදර කණ්ඩායමක් වැඩවර්ජනයේ යෙදෙනවා. ඔවුන් කාරණා කිහිපයක් ඉස්මතුකරගෙන තිබුණා. එකක් තමයි විදුලිබල මණ්ඩලයේ දූෂණය සහ නාස්තිය අවම කිරීම. මට ඒ සහෝදරයින්ට වගකීමෙන් කියන්න පුළුවන් මගේ කාලයේදී තමයි  විදුලිබල මණ්ඩලයේ නාස්තිය දූෂණය අවම වුණ කාලය. ගන්න පුළුවන් හැම දෙයක්ම තරඟකාරී මිලකට තමයි අපි මිලදී ගන්නේ. ඒ කියන්නේ එහි අරමුණ තමයි තරගකාරීත්වය තුළින් නාස්තිය අවම කිරීම. උදාහරණයක් හැටියට හදිසි විදුලි මිලදී ගැනීමක් වුවත් ඇමතිවරයාට බලතල තිබෙනවා මිලදී අරගෙන පසුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න. හැබැයි හැමවිටකම මම ඉෂ්ඨ කළේ ඒක ජාත්‍යන්තර මිල ගණන් කැදවීම් වලින්.  මෙතෙක් තිබුණ සූර්ය, සුළං විදුලි බලය මිලදී ගැනීම් අපි තරගකාරි මිලකට ගෙනල්ලා රු. 23.00 තිබුණ මිල රු. 12.00ට 11.00ට ගෙනල්ලා තිබෙනවා. ප‍්‍රශ්න තියෙන්න පුළුවන්. තවත් අපි විසදාගත යුතුයි. නමුත් මට වගකීමෙන් කියන්න පුළුවන්, මේ යුගය තමයි විදුලිබල මණ්ඩලයේ නාස්තිය දූෂණය අවමකළ යුගය.

දෙවන කාරණාව තමයි සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිත වීම පිළීබඳ. මේ පිළිබඳ මම කටයුතු කළා. 2008 – 2009 යුගයේ තමයි මේක වෙලා තියෙන්නේ. මට ලැබුණ පළමු තොරතුරෙන්ම මම පරීක්ෂණ ආරම්භ කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක්, අපරාධ නඩුවක්, ඒ වගේම කම්කරු අමාත්‍යාංශයේ පරීක්ෂණයක්, අභ්‍යන්තර විගණනයේ පරීක්ෂණයක් ඊට අමතරව සිවිල් නඩුවක් පැවරුවා.  මේ වනවිට මහ බැංකුව එකඟකරගෙන තිබෙනවා ඉන් අඩක් අපට ගෙවන්න. ඒ අඩ ලබාගත්තත් අපි ඔවුන් සමග සාකච්ඡා කරලා ඉතිරි අඩ සඳහාත් නඩු කියලා ලබා ගන්නවා. ඒ මුදල ලබාගැනීම, අපරාධකරුවන්ට විරුද්ධව නීතිය ඉදිරියට යාම ආරම්භ වුණෙත් මේ යුගයේ.

තුන්වනුව ඔවුන් කියනවා මිල වැඩිවීමක් සම්බන්ධව. මේ යුගයේ තමයි විදුලිබල මණ්ඩලය මූල්‍ය අභියෝග වලට වැඩියෙන්ම මුහුණ දුන්නේ. ඒ කාගෙවත් වරදක් නිසා නෙමෙයි. දේශගුණික කාලගුණික ලොකු අසමතුළිතතාවන් තිබෙනවා. වසර 30 කට පස්සේ වැඩිම නියගයක් පැමිණියා. ඒ නිසාම මේ අවුරුද්ද මුලදිම අපි ඇස්තමේන්තු කළා 100% ක් විදුලිය දුන්න රටක් වශයෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් අමතර වියදමක් දරන්න වේවි කියලා ඉන්ධන වෙනුවෙන්. මම මේක කැබිනට් මණ්ඩලයට කිව්වා මේ වෙනුවෙන් විකල්ප වශයෙන් විදුලිබිල වැඩිකරන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ කියලා.

මෙය ආපදා කලමණාකරණ මුදලක් හැටියට කැබිනට් මණ්ඩලය පිලිගත්තා. ජනාධිපතිතුමා අගමැතිතුමා මට ශක්තියක් දුන්නා මේ යන අමතර මුදල භාණ්ඩාගාරයෙන් ගෙවන්න.  මේ වනවිටත් බිලියන 6 ක් භාණ්ඩාගාරයෙන් ලබාදීලා තිබෙනවා. ඒ නිසා බිල වැඩිකරනවානම් වැඩිකලම යුතු යුගයක් අපි පසුකළා. පළමු වතාවට රාජ්‍ය භාණ්ඩාගරයෙන් මුදල් අරගෙන ජනතාව මත බර පටවන්නේ නැතිව ක‍්‍රියා කළේ මේ යුගයේදි.

ඊලගට ඔවුන් කතා කරන්නේ විදුලිබල මණ්ඩලයේ NVQ වහල් සේවය නවත්වන්න කියලා. 7000කට ආසන්න මිනිස්බල සේවකයින් පරිසක් සිටියා තමන්ගේ සේවය ස්ථීර නැතිව. ඒ පිරිස මේ වනවිට ස්ථීර සේවයට බඳවාගෙන තිබෙනවා. දැන් NVQ මට්ටමේ සේවකයින් පුහුණුවන්නන් ලෙස බදවාගෙන ඔවුන්ට පත්වීම දෙන මොහොතේම ස්ථීර සේවයට ලියවිල්ලක් සමග විදුලිබල මණ්ඩලයේ ගුණාත්මක භාවයත්, රැකියා සුරක්ෂිතභාවයත් ආරක්ෂා කරගෙන මේ රටේ කාර්මික දැනුමක් නොමැති තරුණ පිරිස් වලට කාර්මික දැනුමක් සමග විදුලිබල මණ්ඩලයේ ස්ථිර සේවයට එකතු වෙන්න අවස්ථාව ලබාදීලා තිබෙනවා.

වැදගත්ම දේ තමයි ඔවුන් කතා කරන වැටුප් විෂමතාවය. 2014 වර්ෂයේ අවසන ඇතිවූ වැටුප් විෂමතාවක් ගැන තමයි මේ කතා කරන්නේ. මේක හරි සංකීර්ණයි. එක් කණ්ඩායමක් කියනවා ඒ විෂමතාව විසදන්න කිසිම විදිහකට අනිත් අයට වැටුප් වැඩි කරන්න බැහැ කියලා. අනිත් පිරිස කියනවා නැ අපිට අවශ්‍යයි කියලා. මේ දෙපාර්ශවය දැවැන්ත කඹඇදීමක් කරද්දි මේ හැම පාර්ශවයක් සමගම සාකච්ඡා කරලා, අමාත්‍යාංශ ලේකම්වරයා යටතේ කමිටුවක් පත් කරලා, ඒ කමිටුවේ තීන්දු ක‍්‍රියාත්මක කිරීම සඳහා ඉතාම ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සෑම වෘත්තීය සමිතියකටම මේ ගැන අදහස් දක්වන්න යවපු මොහොතේ තමයි මේ වැඩවර්ජනය ආරම්භ කළේ.

අපිට වගකීමක් තියෙනවා. අපි පනස්පන් ලක්ෂයකට විදුලිය දීලා තියෙන්නේ. මේ සියළුදෙනාගේ අවශ්‍යතාව ආරක්ෂා කරන්න අපිට වගකීමක් තියෙනවා. මම ඉතාම කරුණාවෙන් මේ සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනවා විදුලිබල මණ්ඩලයේ කීර්ති නාමය ආරක්ෂා කරගන්න. කරුණාකරලා සේවයට එන්න. අපි සෑම විටකම ඉතාමත්ම සුහදව සාකච්ඡා කරන්න, ඒ සාකච්ඡා අනුව තීන්දු ගන්න පිරිසක් හැටියට අපිව ඔවුන් අදුනගෙන තියෙනවා. ඒ නිසා මේ රටේ පාරිභෝගිකයන්ට අපේ අභ්‍යන්තර ප‍්‍රශ්න නිසා හිරිහැර වෙන්න දෙන්නෙපා. හැම ප‍්‍රශ්නයකම  ප‍්‍රායෝගිකත්වය බලන්න. පාර්ශවයන් දෙකක් දෙපැත්තකට වෙලා කෙලවරක් නැතිව අන්තයන් දෙකක් ගැන කතා කරද්දි, ඒ සඳහා මධ්‍යස්ත විසදුමක් සෙවීම ඉතා අසීරුයි. ඒ අසීරු කාර්යය ඉෂ්ඨ කරන්න හැම කෙනෙක්ම දායකවෙලා වැඩිවැඩියෙන් උදව් කරන්න.