ජලාශවල ජල මට්ටම පහලට, ජල විදුලිය නිපදවීම අභියෝගයක්……”
28 0

Posted by  in Latest News

“බලශක්ති කළමණාකරනය කියන්නේ බොහොම සරලව බැලුවොත් අඩු සම්පත් ප්‍රමාණයක් වැඩි අවශ්‍යතාවයන් සඳහා වඩාත්ම හොඳ විදියට යොදා ගැනීමක්. බලශක්තිය පැත්තෙන් බැලුවොත් ඒක ඉතාම වැදගත්. මම හැමදාම උදේට අපේ විදුලිබල මණ්ඩලය සතු ජලාශවල ජල මට්ටම බලනවා. උදේ ආපු ගමන් වාඩි වෙලා ඒ වාර්ථාව තමයි ගන්නේ. දැන් ගංවතුරත් නිමාවෙලා ගංවතුර ආධාර ගණන් හදමින් ඉන්නේ. හැබැයි අප ළඟ වතුර තියෙන්නේ 36.4% යි රටේ ජලාශ තුළ. වික්ටෝරියා, රන්දෙණිගල ඉතාම පහළ මට්ටමක තියෙන්නේ. වර්ෂාව ලැබිලා නෑ. ඉතින් මම කැබිනට් මණ්ඩලයටත් වාර්ථාවක් ඉදිරිපත් කරා පෙබරවාරි මාසේදී මෙවැනි තත්ත්වයක් තුළ අපට කොච්චර අමතර වියදමක් දරන්න වෙයිද කියලා.” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (28) පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති බලශක්ති කළමණාකරුවන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනයට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය සියඹලාපිටිය මහතා…..
“මේ රටේ 100%ක් විදුලිය දීලා තියෙනවා. අප විදුලිය මොහොතක්වත් කපන්න සුදානම් නෑ. දැන් පසුගිය දවස් 2ක් තාක්ෂණික පැත්තෙන් මට යෝජනාවක් ආවා පීක් ටයිම් (Peak Time) එකේ පැය 2ක්වත් විදුලිය කපන්න වෙයි මේ ඩීසල් ප්‍රශ්නෙ නිසා. හැබැයි රටේ අවශ්‍යතාවයන් කළමණාකරනය ඔක්කෝම කරලා අප ඇඟට නොදැනී එය කළමණාකරනය කර ගත්තා. ඉතින් මේ අඛණ්ඩව විදුලිය ලබාදෙන්න මම කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරා. අපට කොච්චරක් වියදම් දරන්න සිද්ධ වෙයිද කියලා. අපි සාමාන්‍යයෙන් ගණනය කරා බිලියන 52ක් අපට අලුතෙන් වියදම් කරන්න වෙයි කියලා. හොඳ වේලාවට කාසල්රියෙන් ටිකක් ලැබිච්ච නිසා ඒක අඩු කරලා දැන් බිලියන 38ක්  දක්වා වියදම අඩුකරගන්න අපට ලැබිලා තියෙනවා. කැබිනට් මණ්ඩලය මට උදව් කරන්නම් කියලා කිව්වා. නමුත් මේ අඩු සම්පත් ප්‍රමාණය කොහොමද රටේ අවශ්‍යතාවයත් එක්ක ගලපන්නේ කියලා අප හිතන්න ඕන යුගයක් මේක. ඒ නිසා ඔබතුමාලගේ මඟපෙන්වීම, දැක්ම අපට හරිම වැදගත් වෙනවා. ඒ නිසාම මෙවැනි සම්මේලන, මෙවැනි කමිටු, සංවිධාන මේ රටේ අනාගතයට ඉතාම වැදගත්.” යැයි පැවසීය.

රංජිත් සියඹලාපිටිය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය