පැය 24 ම විදුලිය සපයන කලාපයේ එකම රට වශයෙන් සාර්ක් කලාපීය මහලේකම්ගෙන් ශ‍්‍රී ලංකාවට පැසසුම්…
12 0

Posted by  in Latest News

සාර්ක් කලාපයේ රටවල් අතරින් 24 පැයම අඛණ්ඩ විදුලි සැපයුමක් පවතින, එමෙන්ම 100% ක් විදුලියනය වූ එකම රට ශ‍්‍රී ලංකාව බවත්, ඒ සම්බන්ධයෙන් සාර්ක් කලාපීය මහලේකම් වශයෙන් ශ‍්‍රී ලංකාව වෙත තමාගේ සුභපැතුම් පිරිනමන බවත්, සාර්ක් කලාපීය සහයෝගීතා සමුළුවේ මහලේකම් H. F. Amjad Hussain B Sial මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළ කළේ, ඊයේ (13) පස්වරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග එම අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී පැවති ද්වීපාර්ශ්වික නිල සාකච්ඡුාවකදීය.

සාර්ක් කලාපයේ රටවල් අතර බලශක්ති සහයෝගීතාව තහවුරු කරගැනීම සහ වර්ධනය කරගැනීම පිළිබඳව මෙම හමුවේදී සාර්ක් මහලේකම්වරයා සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා අතර වැඩිදුරටත් සාකච්ඡුා කෙරුණ අතර සාර්ක් කලාපයේ බලශක්ති සහයෝගීතාව වෙනුවෙන් නායකත්වය ගෙන කටයුතු කරනමෙන් මහා ලේකම්වරයා විසින් අමාත්‍ය සියඹලාපිටිය මහතාගෙන් ඉල්ලා සිටියේය.

සාර්ක් කලාපීය රටවල් අතර පවතින්නාවූ රාජතාන්ත‍්‍රික සබඳතා තවත් තහවුරු කරගැනීමේ පියවරක් වශයෙන් මෙරට තුළ යොදාගනු ලබන පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් පිළිබඳව කලාපීය  අනෙකුත් රටවල්හි බලශක්ති ක්ෂේත‍්‍රයන්ද දැනුවත් කර, එම ක‍්‍රමෝපායන් අනුගමනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මහලේකම්වරයා පැවසීය. එසේම බලශක්ති අර්බුදයට පිළියම් සොයනු වස් දේශීය වශයෙන් අනුගමනය කරන්නාවූ බලශක්ති සංරක්ෂණ ක‍්‍රමෝපායන් පිළිබඳවද මහලේකම් වරයා, විෂයබාර අමාත්‍යවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡුා කරනු ලැබීය.

මෙම කරුණු වලට අමතරව  කලාපීය රටවල් අතර මිත‍්‍රත්වය තහවුරු  කරගැනීම පිළිබඳවද විෂයභාර අමාත්‍යවරයා සමග වැඩිදුර කරුණු සාකච්ඡුා කළ මහා ලේකම්වරයා, මෙරටේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්තියට මෙන්ම රටවල් අතර මිත‍්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට තමා පොරොන්දු වන බවද පැවසීය. පසුගිය වසරවල ශ‍්‍රී ලංකාවේ විදුලිබල පද්ධතිය ශක්තිමත් කරමින් මෙරටේ ආර්ථික සංවර්ධනයට  සාර්ක් කලාපය විසින් ලබාදුන් සහාය පිළිබඳව අමාත්‍යවරයා විසින් සාර්ක් කලාපීය රටවල් වෙත සිය ප‍්‍රසාදය පලකළේය. මෙම හමුව සංකේතවත් කිරීම සඳහා සමරු තිලිණ හුවමාරුවක්ද මෙහිදී සිදුවිය

මෙම අවස්ථාවට සාර්ක් කලාපීය සහයෝගීතා සමුළුවේ නියෝජිතයන්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්. බී. ගනේගල, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ජනත් ප‍්‍රනාන්දු යන මහත්වරුන්  සහභාගි වූහ.