මෙගාවොට් 870ක විදුලිබල නිෂ්පාදනයක් වෙනුවෙන් ටෙන්ඩර් කැඳවන්න සියල්ල සුදානම්….
15 0

Posted by  in Latest News

  • ස්වභාවික ද්‍රව වායු පළවෙනි ටෙන්ඩරය විවෘත කරන්න ලැබුණා.

රංජිත් සියඹලාපිටිය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය

“ඊයේ දවසත් අපට ඉතාමත් ‍ඵෙතිහාසික දවසක්. අපි පළවෙනි වතාවට සුර්ය බලය සඳහා මෙගාවොට් 1 බැගින් ස්ථාන 20කට මෙගාවොට් 60ක් ලබා දෙන්න මිල ගණන් කැදෙව්වා. මේක විවධ විදියට කතා බහට ලක් වුණා. විදුලි බලය නිෂ්පාදන ක්ෂේත්‍රයේ, පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන ක්ෂේත්‍රයේ මෙතරම් විවාදයට ලක් වු මෙතරම් කතා බහට ලක් වු මුකුත්ම තියෙන්න නැතුව ඇති. අප සංතෝෂ වෙනවා ඊයේ සාර්ථකව පළවෙනි අත්දැකීම නිමා කරගන්න අප කාටත් හැකි වෙලා තියෙනවා. එහි ප්‍රථිඵලය අවසානයේ ජනතාව සතුයි. රු.23.10ට මෙතෙක් මිලදී ගත් සුර්ය බල ඒකකයක් අවම මිල රු.12.73 දක්වා අඩු වෙලා තියෙනවා. මේකේ සාමාන්‍ය මිල රු.17.01 දක්වා අඩු වෙලා තිබෙනවා. මේ ජයග්‍රහණය සමස්ථ ජනතාවගේ, ලක්ෂ 55 ක් වුණ විදුලි පාරිභෝගිකයන්ගේ. කතාබහට ලක්වුණු ස්වභාවික ද්‍රව වායු පළවෙනි ටෙන්ඩරය තාක්ෂණික යෝජනා ටික විවෘත කරන්න ලැබුණා. මීට 6 දෙනෙක් තරඟ කරලා ඉන්නවා. ඒ වගේම, ඉදිරි මාස 2 තුළ අප මේ රටේ ඉදිරි කාලයටම අවශ්‍ය විදුලි බලය නිෂ්පාදන ටෙන්ඩර් කැඳවන්න සුදානම්. මෙගාවොට් 870ක්. මේ තුළ සුර්ය බලය මෙගාවොට් 200ක්, සුළං බලය මෙගා වොට් 170ක් ආදී වශයෙන්. මේවාට විවධ කථා කියාවි. නමුත් අප විනිවිද භාවයකින් යුතුවයි කටයුතු කරන්නේ. අසාධාරණයක් වන අයට අභියචනා මණ්ඩලයල උසාවිය තියෙනවා.”යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (15) බෙදා හැරීම් කලාප අංක 04 මුලස්ථාන ගොඩනැගිල්ලට මුල්ගල තැබීම නිමිත්තෙන් දෙහිවල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍ය සියඹලාපිටිය මහතා,

“අද දිනය ඉතාමත් සුවිශේෂි දිනයක් අමාත්‍යංශයට වගේම ලංකා විදුලිබල මණ්ඩලයට. බෙදාහැරීම් කලාප අංක 04 ප්‍රධාන කාර්යාලය මාස 20 කින් නිම කිරීමේ සිහිනය ඉතාමත් කාර්යක්ෂම සැලැස්මකට වැඩ ආරම්භ කරන දවස අද. අප ප්‍රාර්ථනා කරනවා මේ මාස 20 කියන එකත්, මාස 20ම වේවා කියලා. එය තමයි වැදගත්ම දේ. අප ඉලක්ක කරා යන්න පුළුවන් තරම් උත්සාහ කළ යුතුයි.” යැයි පැවසීය.

මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි, අතිරේක සාමාන්‍යාධිකාරි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරන් ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.