වායු සමීකරණ යන්ත්‍ර සේල්සියස් අංශක 26ට පවත්වාගෙන යාමට ළගදීම චක්‍ර ලේඛයක් ගෙනඑනවා
15 0

Posted by  in Latest News

සූර්යබල සංග්‍රාමය යටතේ දේශගුණික අරමුදල භාවිතා කරලා වහලය මත සූර්ය විදුලි බලාගර හදන්න අපි සූදානම්. ඒ අනුව වසර 5ක් යනකල් බිල නිදහස්. අතටත් ගානක් දෙනවා. අවුරුදු 5 න් පස්සේ වසර 20 දක්වා ලොකු මුදලක් අතට එනවා. එතකොට සූර්ය පැනලයේ ගානත් පියවිලා ඉවරයි. අපි මේ ව්‍යාපෘතිය පසුගියදා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බකමූණ පුවක්ගහ උල්පත ප්‍රදේශයෙන් ආරම්භ කළා. කිසිම මූලික වැයකිරීමක් නැතිව දැන් තමන්ගේ වහලය මත සූර්ය පැනල සවිකරගන්න පුළුවන්. වර්ග අඩි 40ක වගේ ප්‍රමාණයකින් යුත් වහලයක් මතත් මෙය සවි කරගන්න පුළුවන් යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළකළේ, ලංකා විදුලිබල මණ්ඩලයේ රුවන්වැල්ල ප්‍රාදේශීය ඉංජිනේරු ප්‍රදේශයෙන් දැරණියගල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. රැ. මිලියන 37ක වියදමකින් මෙම කාර්යාලය ඉදිකිරීමට නියමිතය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා ..

මේ වනවිට අපි දරුණු නියගයකට මුහුණදීලා තිබෙන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් කියනවා තවත් මාස 5ක් 6ක් වගේ කාලයක් මේ තත්ත්වය පවතීවි කියලා. 2006 පස්සේ ලොකුම නියගයකට අපි මුහුණ දීලා තියෙන්නෙ. අපිට ලොකු අභියෝගයක් තියෙන්නේ. ඒ තමයි ජනතාවට අඛණ්ඩව විදුලිය සපයන එක අපි ලග මේ වනවිට ජලය තිබෙන්නේ 36 ප්‍රමාණයක් විතරයි. ඒඅනුව විදුලිය නිපදවීම සදහා ඩීසල් ගල් අගුරු වැනි විකල්පයකට යන්න වෙනවා. නමුත් ඒ සදහා යන වියදම ජනතාව පිට පටවන්නත් අපිට බැහැ. මේකට අවශ්‍ය සියළුම දේවල් අපි මේ වනවිට කැබිනට් මණ්ඩලයත් දැනුවත්කරලා තිබෙන්නේ. ජනාධපතිතුමාගේ නියෝගයෙන් මේ සදහා අනුකමිටුවක් පත්කරලා තිබෙන්නේ. අපි ඒ කමිටුවට ඉදිරිපත් කරලා තියෙන්නේ අපේ විදුලි ගැටළුව ගැනත් ඒ සදහා දියයුතු විසදුම් ගැනත්. රජය එකගවෙලා තිබෙනවා අපිට ඒ සදහා සහයෝගය ලබාදෙන්න. අපි ජනතාවගෙනුත් ඉල්ලන්නේ ඒ සදහා සහයෝගය දෙන්න කියලා. මුළු ආසියාවම මේ නියගයෙන් පෙලෙනවා. මේක අපි සියළු දෙනාම බෙදාහදා ගන්න ඕන. අපි ජනතාවගේ පැත්තෙන් ඉල්ලන්නේ මෙගාවොට් 25 ක් ඉතිරි කරගන්න කියලා. අපි මෑතකදිම චක්‍රලේඛයක් ගේනවා වායුසමන යන්ත්‍ර සෙන්ටිග්‍රේඩ් අංශක 26 තියාගන්න කියලා. මෙවැනි විදුලි සංරක්ෂණ ක්‍රම සදහා අපි ජනතාවට විදුලි වාසනා වැනි විවිධාකාර වීම් දෙන්නත් සැලසුම් කරලා තිබෙනවා යැයි පැවසීය.