සූර්යබල සංග‍්‍රාමය දියත් කිරීමෙන් විහාරස්ථානවල විදුලි ආධාර පිං කැටයට විරාමයක්
14 0

Posted by  in Latest News

“තවමත් අපේ ජනතාව අතර පන්සලට හිමිවෙලා තිබෙන්නේ ප‍්‍රමුඛස්ථානයක්. පන්සල තමයි අපේ ගැමි බෞද්ධයාගේ මාර්ගෝපදේශනය වන්නේ. ඒ නිසා මේ ආකාරයෙන් පන්සලට සූර්යබල පද්ධතියක් ලබාදීම තුළින්, අපේ ග‍්‍රාමීය ජනතාව මේ සූර්යබල විදුලි උත්පාදනය පිළිබඳ දැනුවත්කර ඒ සඳහා යොමුකළ හැකියි. ඒ වගේම අපේ පන්සල් වලට සුර්යබල පද්ධති ලබාදීමෙන්, නැවතත් විදුලි බලය සඳහා පින් කැටයක් අවශ්‍ය වන්නේ නැහැ” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, සූර්යබල සංග‍්‍රාමයට සමගාමීව අඹේපුස්ස, මංගෙදර රජමහා විහාරස්ථානයට සූර්යබල පද්ධතියක් ලබාදීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා ….,

“අපි මේ දවස්වල ලොතු සටනක යෙදිලා ඉන්නවා. ඒ තමයි සූර්යබල සංග‍්‍රාමය. අපිට ලොකු වගකීමක් තිබෙනවා මේ රටේ විදුලිබල නිෂ්පාදනයෙන් හැකි පමණ ප‍්‍රමාණයක් දේශීය මූලාශ‍්‍රවලින් සිදුකරන්න. අපි තවමත් රටට අවශ්‍ය විදුලියෙන් භාගයක් පමණ නිෂ්පාදනය කරන්නේ ගල් අගුරු සහ ඛනිජ තෙල් වලින්. මේ සදහා විශාල මුදලක් පිටරටට ඇදිලා යනවා. මේක විශාල ප‍්‍රශ්නයක්. නමුත් අපි ලග තිබෙනවා තවමත් භාවිතයට නොගත් මිල අවම බලශක්ති ප‍්‍රභවයන්. ඒ තමයි ජලය, සුළං සහ සූර්ය බලය ආදිය. මේවා මගින් එක සතයක්වත් වැය නොකර විදුලිය නිපදවන්න පුළුවන්. සමකය ආසන්න රටක් වශයෙන් සූර්ය බලයෙන් විදුලිය නිපදවීම අපේ රටට වඩාත් ලාභදායි වෙනවා. අපි ටිකක් ඒ සඳහා පරක්කු වුණා. ඒ පරක්කුව අල්ලන්න තමයි අපි දැන් මේ සංග‍්‍රාමය කරන්නේ. මේ සංග‍්‍රාමයේ ඉලක්කය තමයි, නොබෝ දිනකින්ම නිවාස දසලක්ෂයක පියැසි, සූර්යබලාගාර බවට පත්කිරීම” යැයි පැවසීය.