Posted by in Latest News
2018 වසරේදී විදුලි අර්බුදයක් ඇතිවන බවට ඇතැම් මාධ්‍ය හරහා ගෙනයන ප්‍රචාර, තමා වගකීමෙන් යුතුව බැහැර කරන බව, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා අවධාරණය කරයි.
මේ වනවිට විදුලි අර්බුදයක් ඇති නොවීම සඳහා රාජ්‍ය සහ අමාත්‍යාංශ මට්ටමෙන් ගතයුතු සියළු පියවරයන් ගෙන ඇති බව පවසන විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා, දැනට ස්ථාපිත විදුලි බලාගාර ඒ වෙනුවෙන් අවශ්‍ය පරිදි බලගන්වා ඇති බවත්, ඊට අමතරව විදුලිබල උත්පාදනය ප්‍රධාන වශයෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුකර ඇති බවත් පැවසීය. එසේම බලශක්ති සංරක්ෂණ ක්රමෝපායන් අනුගමනය කිරීමට ජනතාව යොමුකිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක වන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසිය.
ඒ අනුව, නැවතත් කුප්පි ලාම්පු සූදානම් කරගන්නා ලෙසට ඇතැම් පිරිස් විසින් මේ වනවිට ගෙනයන ප්රචාරයන්ගේ කිසිඳු සත්‍යයක් නොමැති බව පැවසූ බටගොඩ මහතා, විදුලිබල ක්ෂේත්රය කිසිඳු අර්බුදකාරි තත්ත්වයකට පත්නොවන පරිදි ස්ථීරසාර මෙන්ම පැහැදිළි රාමුවක් යටතේ පවත්වාගෙන යාමට අමාත්‍යාංශය මේ වනවිට සියළු පියවර ගෙන ඇතැයිද පැවසීය.