අම්පාර දිස්ත‍්‍රික්කයේ විදුලියනය 100% ක් බවට පත්කරන්න අද අපිට හැකිවුණා
31 0

Posted by  in Latest News

විදුලිබල අමාත්‍යවරයා හැටියට ප‍්‍රධාන කාරණා 03 ක් පැවරිලා තියෙනවා. ඒ තමයි විදුලිය නිෂ්පාදනය, සම්පේ‍්‍රෂණය සහ බෙදාහැරීම. පසුගිය සමයේ නොරොච්චෝල බලාගාරය එකවරම ඇනහිටියා තාක්ෂණික ගැටළුවක් නිසා. නමුත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ සිට පහළට නිලධාරින්ගේ ඒකමතික කැපකිරිම නිසා එම බලාගාරයේ බිඳවැටීම් යථා තත්ත්වයට පත්කරගන්න හැකිවුණා. අපට අවශ්‍යවුණා ලංකාවේ සෑම නිවසකටම විදුලිය ලබාදෙන්න. මම විදුලිබල ඇමතිවරයා වනවිට නිවාස 247920 කට විදුලිය තිබුණේ නැහැ. එයින් දැන් 178470 කට මම විදුලිය දුන්නා. අම්පාරේ පමණක් විදුලිය නොමැති නිවාස 11438 ක් තිබුණා. ඒ විදුලිය නොමැති සෑම නිවසක්ම විදුලියෙන් ආලෝකවත් කරලා, අද මේ අපි සංකේතවත් කරන්නේ අම්පාර දිස්ත‍්‍රික්කයේ අවසන් නිවසට විදුලිය ලබාදිමය” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, “රටම එළියයි – අඳුර දුරළයි” වැඩසටහන යටතේ සමස්ත දිවයින දිස්ත‍්‍රික් මට්ටමෙන් විදුලියෙන් ඒකාලෝක කිරීමේ ව්‍යාපෘතියේ අම්පාර දිස්ත‍්‍රික්කයේ විදුලියනය 100% ක් බව සනිටුහන් කිරීමවස්,  අම්පාර දිස්ත‍්‍රික්කයේ පොල්ලේබැද්ද ආදිවාසි ග‍්‍රාමයේ නායකයාගේ නිවසට විදුලි ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා …,

“දැන් ඉස්සරට වඩා ප‍්‍රශ්න විසදන්න ලේසියි. ප‍්‍රධාන පක්ෂ 02ම එකට එකතුවෙලා වැඩකරන නිසා. දැන් වැඩක් කළාම ඉස්සර වගේ ඇද හොයන්න කෙනෙක් නැහැ. පක්ෂ දෙකම එකතුවෙලා ජනතාවගේ ගැටළු විසදනවා. අම්පාර දිස්ත‍්‍රික්කයේ ජනතාවට කුඹුරු ඉඩම් ලබාදෙන ව්‍යාපෘතියට අතහිත දීලා, මේ ප‍්‍රදේශයේ ජනතාව ඉතාමත් සාමකාමිව, සැපෙන් සතුටින් ජීවත්වන ආකාරය දැකගැනීමට නැවත මේ ප‍්‍රදේශයට පැමිණීමට අපේක්ෂා කරනව” යැයි පැවසීය.