විදුලි බිල අවම කිරීම සඳහා තෝරාගත් ආගමික ස්ථාන වෙත නොමිලයේ සූර්ය කෝෂ ලබාදෙනවා…..
07 0

Posted by  in Latest News

ගෘහස්ත පරිභෝජනය සඳහා දීපව්‍යාප්තව සූර්ය කෝෂ දසලක්ෂයක් ස්ථාපිත කිරීමේ වැඩසටහනේ මූලික පියවර වශයෙන් කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ආගමික ස්ථානයන්ට සූර්ය කෝෂ ලබාදීමේ අවස්ථාවකට එක්වෙමින්
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

“අපි තවමත් දියුණුවෙමින් පවතින රටක්. ඒ නිසා මහජන නියෝජිතයන් වශයෙන් යටිතල පහසුකම් වර්ධනය කිරීම ඉතාමත් වැදගත් කාර්යයක්. විශේෂයෙන් මහා මාර්ග, විදුලි සංදේශ සේවා, ජලය, මෙන්ම විදුලිය ප‍්‍රධාන යටිතල පහසුකම් හැටියට සලකනවා. මේ අතරින් ජනතාවගේ දෛනික ජීවන රටාවට වඩාත් සමීප යටිතල පහසුකම හැටියට විදුලිය හඳුන්වාදෙන්න පුළුවන්. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා හැටියට මෙම පහසුකම වඩාත් ගුණාත්මකව අඛණ්ඩව මෙන්ම මිල අවම මට්ටමෙන් ජනාවට ලබාදීමට හැකි සෑම පියවරක්ම ගන්නවා. මේ වෙනුවෙන් ක‍්‍රියාත්මක කෙරෙන පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් වෙත යොමුවීමේ වැඩපිළිවෙල යටතේ විදුලිබිල අවම කිරීම සඳහා සූර්ය කෝෂ දසලක්ෂයක් ලබාදීමටත්, එහි මූලිකම අදියර වශයෙන් තෝරාගත් ආගමික ස්ථාන වෙත සූර්ය කෝෂ ලබාදීමටත් පියවර ගන්නවා” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළකළේ “රටම එළියයි අඳුර දුරලයි” වැඩසටහනට සමගාමීව ක‍්‍රියාත්මක කෙරෙන පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් වෙත යොමුවීමේ වැඩපිළිවෙල යටතේ සූර්යබල විදුලි නිෂ්පාදනය වෙනුවෙන් සූර්ය කෝෂ දසලක්ෂයක් ස්ථාපිත කිරිමේ වැඩසටහට සමගාමිව කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පිරිවෙන් සඳහා නොමිලයේ සූර්ය කෝෂ ලබාදීමේ අවස්ථාවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සියඹලාපිටිය මහතා ….,
“විදුලිබලය ගැන කතා කරද්දි, විදුලි බිල ඉතාමත් වැදගත් වෙනවා. ඇයි මේ විදුලි බිල වැඩි වෙන්නේ. ඒකට හේතුව තමයි විදුලිබල නිෂ්පාදනයේදී දැරීමට සිදුවන අධික පිරිවැය. විදුලි නිෂ්පාදනයේදී 50% ක් පමණ යොදාගන්නේ පිට රටින් ගෙන්වන ඉන්ධන හා ගල් අගුරු වලින්. ගල් අගුරු යොදාගෙන විදුලිය නිෂ්පාදනය ලාබදායි වුවත්, එහි පරිසර ප‍්‍රශ්න නිසා එය යොදාගත නොහැකි තත්ත්වයක් තිබෙනවා. ඞීසල් යොදාගත්තාම විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ පිරිවැය රු.30ත් රු. 35 ත් අතර ප‍්‍රමාණයක් වෙනවා. මේ හේතුවෙන් තමයි විදුලි බිල වැඩි වෙන්නේ. අපි මේකට පිළිතුරු සොයන්න ඕන. අමාත්‍යවරයා හැටියට ඒක මගේ වගකීමක්. අපි සමකය ආසන්න රටක ඉන්න නිසා සූර්ය බලයෙන් විදුලි නිපදවීම පිළීබඳ අවධානය යොමුකරන්න පුළුවන්. ඒ සඳහා අපි ඉදිරියේදී නිවාස දසලක්ෂයක සූර්ය කෝෂ ස්ථාපිත කරන්න සූදානම්. එයින් තමන්ගේ නිවාසයට අවශ්‍ය විදුලි ප‍්‍රමාණය නිෂ්පාදනය කරගත්තාට පස්සේ ඉතිරි නිෂ්පාදනයන්ට අපි මුදල් ගෙවීමේ වැඩපිලිවෙලක් සකස් කරනවා. මෙහි මුලික අදියර වශයෙන් පූජනීය ස්ථාන වලට නොමිලයේ සූර්ය කෝෂ ලබාදෙනවා. මෙමගින් එම ස්ථානවල විදුලි බිල සඳහා යන වියදම ඉතිරි වෙනවා වගේම මේ රටේ ඩිසල් ගෙන්වන්න වියදම් වන මුදලත් ඉතිරි වෙනවා. මෙරටේ ආනයන වියදමෙන් 40%ක් යන්නෙ ඉන්ධන වලට. එම ඉන්ධන වලින් බාගයක්ම යන්නේ විදුලිබල උත්පාදනයට. මේ ආකාරයෙන් සුර්ය කෝෂ මගින් විදුලිය නිපදවීමෙන් පරිසර හානිය අවම වනවාසේම පුද්ගලික වශයෙන් පසුම්බියටත්, රටක් වශයෙන් සංවර්ධන ක‍්‍රියාදාමයටත් විශාල පිටිවහලක් වෙනවා” යැයි පැවසීය .