රිවි අරුණ ව්‍යාපෘතිය කෑගල්ලෙන් ඇරඹේ.
05 0

Posted by  in Latest News

තෝරාගත් පූජනීය ස්ථානයන් වෙත සූර්යබල විදුලි උත්පාදන කට්ටල නොමිලේ 

පරිසරය කියන්නේ අප වටා තිබෙන, අප විසින් නිර්මාණය නොකළ සියලූම වස්තූන්. පරිසරයෙන් තොරව අපට මොහොතක්වත් ඉන්න බැහැ. ඒ නිසා පරිසරය ආරක්ෂා කරගැනීමේ විශාල වගකීමක් අප හැමෝටම තිබෙනවා.  තවමත් 50%ක් අපේ රටේ විදුලිය නිෂ්පාදනය කරන්නේ පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන්ගෙන්. ඒ පිළිබඳ අපි සතුටු වියයුතුයි. මේ අතරේ පොසිල ඉන්ධන භාවිතා කිරීමටත් සිදුවෙනවා. එම පොසිල ඉන්ධන දහනයෙන් පරිසරයට අහිතකර වායුන් පරිසරයට එකතු වෙනවා. ඒ වගේම විදේශ විනිමය වැය වෙනවා. ඒ අනුව විදේශ විනිමය ඉතිරිකර ගැනීමටත්, පරිසරය ආරක්ෂා කරගැනීමටත් වැඩිවශයෙන් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන්ටම යොමුවීමට අපි සැලසුම් සකස්කරලා තිබෙන්නේ.  අපි සමකය ආසන්න රටක් හැටියට අවුරුද්දේ වැඩිම කාලයක් හිරු එළිය ලැබෙන නිසා, හිරු එළියෙන් විදුලිය නිපදවන්නට සැලසුම් කරනවා. අද මේ ආරම්භ වූ රිවි අරුණ ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පූජනීය ස්ථාන වෙත සුර්යබල විදුලි උත්පාදන කට්ටල නොමිළයේ ලබාදි  එම ස්ථානයන්ගේ විදුලිබිල අවම කිරීමට පියවර ගන්නවා” යැයි විදුලිබල හා පුනර්ජනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

අමාත්‍ය සියඹලාපිටිය මහතා මේ අදහස් පළකළේ ලෝක පරිසර දිනයට සමගාමීව කෑගල්ල වෑන්දල ශ‍්‍රී විසුද්දාරාම විහාරස්ථානයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය සංවිධානය කර තිබේ. මේ යටතේ දිවයිනේ තෝරාගත් පූජනීය ස්ථාන ඉලක්ක කරගනිමින් කිලෝවොට් 2 ක් වූ සූර්යබල කට්ටල නොමිළයේ ලබාදීමට සැළසුම් කර තිබෙන අතර මේ එක් සූර්යබල කට්ටලයක් වෙනුවෙන් සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් රු ලක්ෂ 6 ක මූල්‍ය පිරිවැයක් දරනු ලැබේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා …,

“ඉස්සර අවශ්‍ය පුද්ගලයෙකුට පුද්ගලිකව වහලයේ සූර්යබල විදුලිබල උත්පාදන කට්ටලයක් සවිකරගෙන විදුලිය උත්පාදනය කරන්න හැකියාව තිබුණා. නමුත් ඔහු තමාගේ පරිභෝජනයට වඩා නිපදවන විදුලිය ලංවිමට ලබාදෙන්න හෝ ඒ වෙනුවෙන් මුදලක් ලබාගන්න ඔහුට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒත් සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් දියත් කරන ,රිවි අරුණ, සහ ,ශුද්ධ මනුකරණ, ව්‍යාපෘති යටතේ සූර්යබල විදුලි උත්පාදන කට්ටල සවිකරගන්නන්හට ණය මුදලක් ලබාදීමටත්, ඔවුන් නිපදවන විදුලියෙන් අතිරික්තය ලංවිම ලබාගෙන සාධාරණ ගෙවීමක් කිරීමටත් දැන් අපි සූදානම්” යැයි පැවසිය.

මෙම අවස්ථාවට සමගාමීව ලෝක පරිසර දිනය සනිටුහන් කරමින් දහම් පාසල් දරුදැරියන්ට වටිනා පැළ 1500ක්ද අමාත්‍ය සියඹලාපිටිය මහතා විසින් ප‍්‍රදානය කරන ලදී.