අවම මිළක් යටතේ අඛණ්ඩ, ගුණාත්මක විදුලි සේවාවක් ලබාදෙනවා
05 0

Posted by  in Latest News

  • මී මුරේට විදුලිය

රටම එළියයි අඳුර දුරළයි” වැඩසටහනට සමගාමීව මීමුරේ ජනතාවට 100%ක් විදුලිය ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.


විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා අවම මිලක් සහිත පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් වෙත අපි දැන් යොමු වෙලා. ඉස්සර විදුලිබලාගාරයක් හදන්න සාමාන්‍ය ජනතාවට හිතන්නවත් බැහැ. එක්කෝ රජයෙන් හරි, සමාගම්හරි තමයි විදුලිබලාගාර හදන්නේ. නමුත් දැන් විදුලිබලාගාර ස්ථාපිත කිරීමටත්. එමගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය, ප‍්‍රධාන විදුලිබල ජාලයට එක්කිරිමටත්, අවශ්‍ය  ඕනැම පුද්ගලයෙකුට හැකියාව තිබෙනවා. ඒ අනුව  ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් මෙගාවොට් 2 ට වඩා අඩුවෙන් නිෂ්පාදනය කරන්නේනම්, එසේ නිෂ්පාදනය කරනු ලබන විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් සාධාරණ මිලකට මිලදී ගැනීමේ නව නීතියක් අපි ඇතිකළා. ඒ වගේම මෙගාවොට් 5ට වඩා අඩුවෙන් නිෂ්පාදනය කරන්නේනම්, පද්ධතියේ ඉඩ ඇති පරිදි මිලදී ගන්නත්, මෙගාවොට් 05 ට වඩා වැඩියෙන් නිපදවන්නේනම්. තරඟකාරී ක‍්‍රමයක් යටතේ මිලදී ගැනීමටත් ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරනවා . ඉදිරියේදී අපි වෙනත් සමාගම් වලින් විදුලිය මිලදී ගන්නේ ලෝකයේ පවතින මිළත් සමග තරඟ කරලා, අවම යහපත් මිලක් මේ රටේ මිනිසුන්ට ලැබෙන පරිදියි. එදා මේ රටේ ලක්ෂ 5 ක් පමණ සිටියා කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන. මෙම ලක්ෂ 5 දරුදැරියන් විදුලි ආලෝකයෙන් පාඩම්කර, උගතුන් බවට පත්කරන්න දැන් අපි සූදානම්. විදුලිබල අමාත්‍යවරයා වශයෙන්, විදුලිබල අමාත්‍යාංශය, විදුලිබල මණ්ඩලය හා එක්ව, පක්ෂ භේදයකින් තොරව, අපේ රටේ ජනතාවට පැය 24ම අවම මිළක් යටතේ අඛණ්ඩව සහ ගුණාත්මකව පරිසරය හානිය අවම වන පරිදි  විදුලි සේවාවක් ලබාදීම තමයි  මගේ ප‍්‍රධානම ඉලක්කය වන්නේ.” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් දැක්වූයේ, පසුගියදා මහනුවර දිස්ත‍්‍රික්කයේ මීමුරේ ප‍්‍රදේශයේ විදුලියනය 100% ක් බවට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය සියඹලාපිටිය මහතා .,

“ප‍්‍රධාන විදුලිබල පද්ධතිය අද ගමට ඇවිත් තිබෙනවා. ලංවිම හැමවිටම ජනතාව ගැන සිතනවා. වඩාත් ප‍්‍රගතිශීලිව කටයුතු කරනවා. ඉස්සර නම් ගමට විදුලිය දෙන්න ගියාම. ඒ සඳහා යන වියදම වැඩිනම් ගමට පමණක් විදුලිය ගෙනල්ලා, අවශ්‍යනම්, අවශ්‍ය අයට තම නිවෙස් වලට විදුලිය ගන්න කියනවා. නමුත් දැන් අපි ගෙමිදුලටම විදුලිය ගෙනත් දෙනවා. ඊට අමතරව නිවාස වයරින් කරගැනිමටත්, සම්බන්ධතාව ලබාගැනීමටත් මුදල් සපයනවා. විදුලිය කියන්නේ ජනතාවට සිය දෛනික ජීවිතයට වඩාත් සම්බන්ධ අත්‍යාවශ්‍ය යටිතල පහසුකමක්. ජනතාවට විනාඩියක්වත් විදුලිය නොමැතිව ඉන්න බැරිතරමටම, විදුලිය දැන් ඉතාමත් සංවේදී යටිතල පහසුකමක්  බවට පත්වෙලා. මේතරම් ජන ජීවිතයට බැඳුන යටිතල පහසුකම, නිවාස වලට ලබාදීමේදී එක නිවසකට විදුලිය ලබාදෙන්න රු. ලක්ෂ 3ක් පමණ වියදම් කරන්න තරම් විදුලිබල මණ්ඩලය ප‍්‍රගතිශීලී වෙලා. විදුලිබල නිෂ්පාදනයත් අපි මේ වනවිට ප‍්‍රගතිශීලි කරලා තිබෙන්නේ.” යැයි පැවසීය.

මෙම අවස්ථාවට වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මැතිතුමා , උඩුදුම්බර එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන සංවිධායක චානක අයිලප්පෙරුම මැතිතුමා, සබරගමුව පළාත්සභා මන්ත‍්‍රී හර්ෂ සියඹලාපිටිය, විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි එම් .සී වික‍්‍රමසේකර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.