රාජ්‍ය අංශයේ බලශක්ති කළමනාකරණය සඳහා බලශක්ති කළමනාකරුවන් 250ක්
06 0

Posted by  in Latest News

මම පාර්ලිමේන්තුවට ඇවිත් මේ වනවිට වසර 16 ක් වෙනවා. මගේ වැඩිම කාටුන් ඇඳුනේ පසුගිය වකවානුවේ. විදුලිබල අභියෝගය ඒ තරමටම වැඩියි. අපිට මෙගාවොට් 3900 ක විදුලිබල නිෂ්පාදන ධාරිතාවක් තිබෙනවා. අවශ්‍ය වන්නේ මෙගාවොට් 2400 යි. එසේනම් විදුලිය කපන්න වෙන්නේ ඇයි කියන එක ගැටළුවක්. මේ 3900 න් හරි අඩක් ජල විදුලියෙන් නිෂ්පාදනය කරනවා. මේ ජල විදුලි බලාගාර වලින් වැඩි ප‍්‍රමාණයක පළමු අරමුණ පානීය ජලය. දෙවෙනි අරමුණ කෘෂිකර්මය. මේ නිසා විදුලි නිෂ්පදනය අභියෝගයකට ලක්වෙනවා. ඒ වගේම මේ දිනවල සුළං අඩුයි. වෙනදාට සුළං බලාගර වලින් මෙගාවොට් 150 ක් පමණ ලැබෙනවා. නමුත් මේ පසුගිය වකවානුවේ ලැබුණේ මෙගාවොට් 0.1 ක් වගේ ප‍්‍රමාණයක්. කුඩා ජලවිදුලි බලාගාර වලින් මෙගාවොට් 300ක් ලැබෙනවා. නමුත් පසුගිය දුෂ්කර වකවානුවේ අපට ලැබුණේ මෙගාවොට් 50 වගේ ප‍්‍රමාණයක්. ඒ අනුව අප පැහැදිළියි දේශගුණික සහ කාලගුණික තත්ත්වයන් මත විදුලි නිෂ්පාදනය අඩුවැඩි වෙන බව. අභියෝගයට ලක්වන බව. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ අභියෝග වලින් ජයගන්න කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් සොයන්න තීරණය කළා. මේ කෙටිකාලීන විසඳුම් අතර තිබෙන එක් කරුණක් තමයි බලශක්ති කළමනාකාරුවන් පත්කිරීම. ඒ අනුව ඉදිරියේදී රාජ්‍ය අංශයේ බලශක්ති කළමනාකරණය වෙනුවෙන් බලශක්ති කළමනාකරුවන් 250 ක් පත්කරනවා” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළකළේ අද (05) පස්වරුවේ වෝටර්ස් එජ් හෝටලයේ පැවති සෑම ආයතනයක් සඳහාම බලශක්ති කළමනාකරුවන් පත්කිරීමේ වැඩසටහනට සහභාගී වූ විවිධ ආයතනයන්හි නිලධාරීන් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා …,

“විදුලිබලය සහ ඉල්ලූම අතර තිබෙන අභියෝගයට එක් හේතුවක් තමයි සැලසුම් කරන වෙලාවට කිසිම විදුලි බලාගාරයක් නිමකරන්න බැරිවීම. මේ සඳහා උග‍්‍රම දේ තමයි පාරිසරික ගැටළු. මොන ස්ථානයක බලාගාරයක් හදන්න ගියත් මේ පරිසර ගැටළුව මතු වෙනවා. සමහරවිට අපේ ආයතන පවතින ගොඩනැගිල්ලේ අනවශ්‍ය බලශක්ති වැයවීමක් තිබෙන්න පුළුවන්, උපකරණවල දෝෂ තියෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් විශේෂයෙන්ම නොසැළකිල්ල වෙන්න පුළුවන්. යල්පැන ගිය උපකරණ වෙන්න පුළුවන්, මේ කුමණ කරුණක් හෝ තුළින් සමස්තයක් වශයෙන් යන පිරිවැය ජාතික වශයෙනුත් ඉතාමත් බරපතලයි. මේ සියලූ කරුණු මැඩපවත්වාගෙන, නිති පතා සොයාබලා, බලශක්ති කමිටුවක් පිහිටුවාගෙන ආයතන ප‍්‍රධානියාට කරුණු ඉදිරිපත් කරලා, අපටත් කරුණු යන්න. ඒ සඳහා තමන්ගේ ආයතනයේ බලශක්තිය සුරකින්න පුළුවන් පිරිසක් අපි ඇතිකරනවා. ඔවුන්ට මගපෙන්වනවා. දිරිගන්වනවා. අපි කරන්න හදන්නේ බලශක්ති සංරක්ෂණ ක‍්‍රමවේදයන්ගෙන් වසර 2020 වෙද්දි මෙගාවොට් 400ක් ඉතිරි කරන්නයි. මේ සදහා මූලික වියදමක් හෝ පවත්වාගෙන යාමේ වියදමක් නැහැ. මේ ක‍්‍රමවේදය රටට මොනතරම් වටිනවාද” යැයි පැවසීය.

මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය ආයතනයන්හි නිලධාරින් පිරිසක් සහභාගී වූහ.