ලබන මස අවසන් වනවිට ගම්පහ දිස්ත‍්‍රික්කයේ විදුලිය නොමැති සැමට විදුලිය ලබාදෙනවා.
02 0

Posted by  in Latest News

ජනතාවට විදුලිය ලබාදීමේ ක‍්‍රියාවලිය සමාජ සත්කාරක ක‍්‍රියාවලියක් ලෙසටයි අපි ක‍්‍රියාත්මක කරන්නේ. විදුලිය කියන්නේ අත්‍යාවශ්‍ය යටිතල පහසුකමක්. ගම්පහ කියන්නේ ඉතාමත් දියුණු දිස්ත‍්‍රික්කයක්. මේ දිස්ත‍්‍රික්කයේ ජනගහනය ලක්ෂ 23කට අධික ප‍්‍රමාණයක් සිටිනවා. ඒ කියන්නේ නිවාස ලක්ෂ 6 ක් පමණ තිබෙනවා. මෙම පිරිසෙන් 4805 ක් පමණ නිවාස වලට විදුලිය ලැබිලා නැහැ. දැනට ක‍්‍රියාත්මක වන රටම එළියයි – අඳුර දුරළයි වැඩසටහන යටතේ නිවාස 1364 කට විදුලිය ලබාදී තිබෙනවා. මේ වනතෙක් තවත් නිවාස 3441 ට විදුලිය පහසුකම් ලබාදීලා නැහැ. මෙසේ නිවසට විදුලිය ගන්න බැරිවීමට හේතුව ආර්ථික, නීති, ආකල්ප, සමාජ හෝ භෞතික ගැටළු වෙන්න පුළුවන්. මේ කුමන ගැටළුව තිබුණත්, ඒ සෑම ගැටළුවකටම විසඳුම් ලබාගෙන, ලබන අපේ‍්‍රල් මස අවසන් වනවිට සමස්ත ගම්පහ දිස්ත‍්‍රික්කයම විදුලියෙන් ඒකාලෝක කිරීමට පියවර ගන්නවා” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළකළේ ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ,රටම එළියයි – අඳුර දුරලයි, වැඩසටහනේ ගම්පහ දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා…,
“මේ වනවිට අපි ලංකාවේ ජනගහනයෙන් 98% කට විදුලිය ලබාදීලා තිබෙනවා. ලංකාවේ තවමත් 250,000 කට විදුලිය නැහැ. මේ සමාජ පන්තිය බොහෝ සැඟවුණ සමාජ කණ්ඩයමක්. අඩු ආදායම්ලාභී පිරිසක්. මේ බොහෝ දෙනෙකුට ගේ අසලටම විදුලි කණුව ඇවිත් තිබෙනවා. නමුත් නිවසට විදුලිය ගන්න බැරිව වසර ගණනක් ගතවෙලා. නමුත් නොයෙක් හේතු මත නිවසට විදුලිය ගන්න බැහැ. විදුලිබල මණ්ඩලයට මේ පිළිබඳව විශාල වගකීමක් පැවරිලා තිබෙනවා. ඒ ජනතාවට විදුලිය ලබාගන්න තිබෙන ආර්ථික ගැටළුව සඳහා අපි මේ වනවිට සහන ණය යෝජනා ක‍්‍රමයක් ආරම්භ කළා. ඒ වගේම නෛතික හා භෞතික ගැටළු වලට විසඳුම් වශයෙන් අපි නිවාස හිමිකම් ඔප්පු පරීක්ෂා කිරීම, නිවසේ තත්ත්වය පරීක්ෂා කිරීම ආදි නිතී හැකිතාක් ලිහිල් කළා. මේ ආකාරයෙන් මෙම ගැටලූ සියල්ල විසඳගෙන, ජාතික සත්කාරයක් හැටියට අපි මේ රටේ 100% විදුලිය දෙන්න උත්සාහ ගන්නවා” යැයි පැවසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර, දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති අජිත් මාන්නප්පෙරුම, එඞ්වඞ් ගුණසේකර, කාවින්ද ජයවර්ධන යන මැතිිඇමතිවරුන්, ගම්පහ දිස්ත‍්‍රික් ලේකම්, ප‍්‍රාදෙශීය ලේකම්වරු, ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුඵ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.