අපි විදුලිය දීලා පමණක් නිහඩව ඉන්නේ නැහැ. 2030 වෙනකල් විදුලි ජන සැලසුම් අපි නිර්මාණය කරගෙන යනවා. වියදම අඩුවෙන්, පරිසර හිතකාමී ආකාරයෙන්
08 0

Posted by  in News

ගේ ළඟට විදුලි කණුව ආවම විදුලිය ලබාගන්න පිරිස් ගැන අපි වදවෙන්න ඕන නැහැ. නමුත් ඒ ආකාරයට කණුව නිවස ලඟට ආවත් විදුලිය ගන්න බැරි කොටස් ගැන තමයි අපි අවධානය යොමු කරන්න ඕන. ආර්ථික හේතූන් මත විදුලිය ලබාගන්න බැරි, සමාජයේ නගාසිටුවන්න අවශ්‍ය ඒ පිරිස් වලට උදව් කරන්න තමයි අපි සමෘද්ධි අධිකාරියෙන් බිලියන 4 ක් ණයට අරන් විදුලි සහන ණය යෝජනා ක‍්‍රමය ආරම්භ කළේ. අපි ජාතික ආණ්ඩුවක් හැටියට අපි සෑම සංවර්ධන කටයුත්තක්ම කරගෙන යනවා. ලැබෙන ඕනෑම වේදිකාවක හිටියත්, අපේ එකම අරමුණ තමයි ජනතාවට සේවය කිරීම. ඒකට පක්ෂ භේදයක් අවශ්‍ය නැහැ. සංවර්ධන කටයුතු වෙනුවෙන් අපි පක්ෂ පාට වශයෙන් බෙදීමක් නැතිව එකමුතුව කටයුතු කළ යුතුයි. පක්ෂ වෙනම තිබිය යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා වෙනවානම් ඒකේ කිසිම ගැටළුවක් නැහැ. නමුත් යම් අවස්ථාවක එකට වැඩකරන්න වේදිකාවක් නිර්මාණය වුණානම්, ඒ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගතයුතුයි. රටකට වගේම ඕනෑම ආයතනයකට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැදගත්. මේ දවස්වල රටේ දැක්ක දැක්ක තැන්වල උද්ඝෝෂණ. ඒ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා වන නිසයි. නමුත් පාලකයන්, පාලිතයන් දෙපාර්ශවයම මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සීමාවන් දැනගෙන ක‍්‍රියාකිරීමට උත්සාහ ගත යුතුයි” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා දැරණියගල, බෝලපිටියේ පැවති, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ විදුලියනව 100% ක් බවට පත්කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා …,

“විදුලිබල මණ්ඩලය හැටියටත් අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදීව එකමුතුව වැඩකටයුතු කරගෙන යනවා. අපි විදුලිය දීලා පමණක් නිහඩව ඉන්නේ නැහැ. 2030 වෙනකල් විදුලි ජන සැලසුම් අපි නිර්මාණය කරගෙන යනවා. වියදම අඩුවෙන්, පරිසර හිතකාමී ආකාරයෙන්, තෘප්තිමත් සේවක පිරිසක් ඇති කරගෙන මේ කටයුතු කරගෙන යන්න අපි සැලසුම් සකස් කරනවා. අපි 2500 ක් පමණ ලංවිම අනියම් සේවකයෝ ස්ථිර කලා. මනු කියවන්නන්ගේ ගැටළුවට විසඳුම් සොයන්නත් කමිටුවක් බිහිකළා. ඔවුන්ටත් මිනිස්බල සේවකයින්ට වගේ යහපත් විසදුම් ලැබේවි.

දේශපාලනය තුළ සංකල්ප ඕන තරම් බිහි වෙනවා. නමුත් ඒවා ක‍්‍රියාත්මක කරන්න වෙන්නේ රාජ්‍ය නිලධාරීන්ට සහ වැඩ කරන සහෝදරවරුන්ටයි. ජනතා නියෝජිතයෙකුට වගකීම් 03 ක් පවරෙනවා. පළමු එක තමයි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම. කුමන අභියෝග ගැටළු තිබුණත් අනිවාර්යයෙන් පාර්ලිමේන්තු සැසි වලට සහභාගි වියයතුයි.

සමහර විට එක් අයෙකුගේ සහභාගීත්වය නොමැති වුණොත් ආණ්ඩු මාරු වෙන්නත් පුළූවන්. දෙවෙනි කරුණ තමයි ජනතාව සමග දුක සැප බෙදාගැනීම. තුන්වෙනි කරුණ තමයි සංවර්ධනය ගමට ගෙනියන එක. කුමන අමාත්‍යාංශය භාරගත්තත්, මොනවා නැතත් ගමට සංවර්ධනය ළඟා කළයතුයි. මම ඒ කරුණු 03ම සම්පූර්ණ කළ අමාත්‍යවරයෙක්. ඒ ගැන මම සතුටු වෙනවා. මම මේ විදුලිබල අමාත්‍යාංශයට ඇවිත් මාස 09 කුත් නැහැ. මට දැන් කෑගල්ලෙ ඹ්නෑම නිවසකින්ම අහන්න පුළුවන් විදුලිය ලැබුණා නේද කියලා. නිවාස 7735 කට විදුලිය ලබාදීලා අන්තිම නිවසට විදුලිය ලබාදෙන එක තමයි අද මේ සංකේතවත් කරන්නේ” යැයි පැවසීය.

මෙම අවස්ථාවට අධිකරණ හා බුද්ධ ශාසන පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ දුෂ්මන්ත මිත‍්‍රපාල දැරණියගල එ.ජා.ප. සංවිධායක රංජිත් පොල්ගම්පොල ආණ්ඩු පක්ෂ සංවිධායක හර්ෂ සියඹලාපිටිය හිටපු ප‍්‍රාදේශියසභා සභාපති අනුර විජේසූරිය යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලනාධිකාරියත් විදුලිබල හා පුනර්ජනීය බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසකුත් සහභාගී වූහ.