2015 වසරේ ජනතාව විදුලිය පරිභෝජනය කරලා තිබෙන්නේ ලංවිම අපේක්ෂිත පරිභෝජන මට්ටමට වඩා මෙගාවොට් 500 ක් අඩුවෙන්…
10 0

Posted by  in Latest News

“සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් බොහෝ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘති ගමට අරන් ගියා. ජනතාව දැනුවත් කළා. එහි ප‍්‍රථිඵලයක් හැටියට 2015 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය බලාපොරොත්තු වුණාට වඩා මෙගාවොට් 500 ක් අඩුවෙන් තමයි රටේ මිනිස්සු විදුලිය භාවිතා කළේ” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළකළේ පසුගියදා පෙරවරුවේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් සංවිධානය කර තිබූ බලශක්ති සමාජ ස්ථාපනය කිරීම සහ ඒවා සක‍්‍රීයත්වයට පත්කිරීම උදෙසා කෑගල්ල ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා ..,

“රටේ ජනතාවට විදුලිය 100% ක් දුන්නට පස්සේ අපට තියෙන අභියෝගය තමයි විදුලි ජනනය. තවමත් විදුලිය ජනනයෙන් 50% ක් පොසිල ඉන්ධන මගින් සිදුකරන්නේ. මේවා වෙනස් කළ යුතුයි. ඒ නිසා මිල අවම අපි පුනර්ජනනීය බලශක්තියට වැඩිවශයෙන් යොමුවිය යුතුයි. මේ රටේ ආනයන වියදමෙන් හරි අඩක් වැයවෙන්නේ බලශක්තිය ආනයනය කරන්නයි. මේවා වෙනස්කළ යුතුයි. ඒ වගේම නව විදුලි සබඳතා ලබාදීමේදී එක් නිවසකට විදුලිය ලබාදෙන්න ලංකා විදුලිබල මණ්ඩලය විශාල මුදලක් වැයකරනවා. කලින් නව සබඳතා ගනිද්දි නීති විශාල ප‍්‍රමාණයක් තිබුණා. නමුත් අපි මේ යටිතල පහසුකම සෑම දෙනාටම ලබාගන්න පහසු කරවන්න මේ සියලූම නීති වඩාත් නම්‍යශීලී කරලා ලිහිල් කළා. මම මේ අමාත්‍යාංශය බාරගනිද්දි බලශක්ති ක්ෂේත‍්‍රයේ අභියෝග කිහිපයක් හඳුනාගත්තා, අද වෙනුවෙන් පමණක් නොවෙයි හෙට වෙනුවෙන් ඉදිරියට යන්නේ කොහොමද කියන කරුණ සම්බන්ධයෙන්. එකක් තමයි මේ රටේ සියළුදෙනාටම විදුලිය ලබාදීම. මේ රටේ 98% කට විදුලිය දීලා තිබෙනවා. වසර 30 ක් යුද්ධ කරපු අපේ රටේ මේ තත්ත්වය ඉතාමත් සතුටුදායකයි.

විදුලිය ලබාදීමට අවධානය යොමු කරනවා වගේම අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් විදුලිබල සංරක්ෂණ සඳහා මේ ආකාරයෙන් දැනුවත් කිරීම් කළ යුතුයි. ඒ වගේම සැම ආයතනයකටම වගේම පාසල් වලටත් බලශක්ති කලමණාකරුවෙක් පත්කළ යුතුයි. බලශක්තිය වඩාත් ආරක්ෂා කරගත හැකි මට්ටමේ උපකරණ හඳුන්වා දිය යුතුයි. මෙවැනි බලශක්ති සුරක්ෂිත ක‍්‍රම ජනතාවට හුරුකරවන්න තමයි, සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් දීපව්‍යාප්ත වැඩසටහන් පවත්වලා බලශක්ති සංරක්ෂණ ක‍්‍රමෝපායන් හඳුන්වා දෙන්නේ” යැයි පැවසීය.

මෙම අවස්ථාවට සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සබරගමුව පළාතේ පාසල් වල ගුරුභවතුන් විශාල ප‍්‍රමාණයක් සහභාගී වූහ.