නොරොච්චෝලේ විදුලි බලාගාරයේ  මෙගාවොට් 900ක සම්පූර්ණ ධාරිතාවය මේ සතිය තුළ ජාතික විදුලිබල පද්ධතියට
24 0

Posted by  in Latest News

රටම එළියයි – අදුර දුරලයි” ජාතික විදුලි සත්කාරයට සමගාමීව නොරොච්චෝලේ බලාගාරය මගින් මේ සතිය තුළදී ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 900 ක උපරිම දායකත්වයක් ලබාදීමට පියවර ගැනේ.

වර්ෂ 2011 ජූලි මස 24 වන දින නොරොච්චෝල විදුලි බලාගාරයේ පළමු අදියර ක්‍රියාත්මක වූ අතර දෙවන අදියර 2014.05.04 වන දිනත් තෙවන අදියර 2014.10.14 වන දිනත් ක්‍රියාවට නැංවුනි. 2015 වර්ෂයේදී සමස්ත විදුලිබල සැපයුමට ලක් විජය බලගාරය මගින් ලැබූ දායකත්වය 33 % කි.

බලාගාරය මගින් දැනට ලබාදෙන දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණෙන් ඒ පිළිබද අවශ්‍ය පියවර ගැනීම සදහා කරුණු සොයා බැලීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා බලාගාර පරිශ්‍රයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් පසුව පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර සිටියේය.

2016 වර්ෂයේදී ලක් විජය බලාගරය මගින් නිපදවීමට ඉලක්ක කරන විදුලි ප්‍ර‍මාණය ඒකක මිලියන 5300 කි. එම ඉලක්කය සපුරාලීමටත් පවතින අඩුපාඩු මොනවාද යන්න සොයාබලා ඊට කඩිනම් විසදුම් ලබාදීම අමාත්‍යවරයාගේ චාරිකාවේ මූලික අරමුණ විය.

මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ‍මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය සහ අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.