පරමාණුක බලශක්ති නියාමන සභාව මගින් නව බලපත‍්‍රයක්
29 0

Posted by  in Latest News

විකිරණ වලින් සුරක්ෂිත ශ‍්‍රී ලංකාවක් වෙනුවෙන් ලබන වසරේ ජනවාරි මස 01 දින සිට ක‍්‍රියාත්මකවන පරිදි නව බලපත‍්‍රයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. පරමාණුක බලශක්ති නියාමන සභාව විසින් මේ වනවිට එම නව බලපත‍්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇති අතර එම නව බලපත‍්‍රය රහිතව ක‍්‍රියාත්මකවන හෝ විකිරණ පනත උල්ලංඝණය කරන්නන් වෙනුවෙන් දැඩි දඩුවම් පැමිණවීමට පියවර ගන්නා බව පරමාණූක බලශක්ති නියාමන සභාව පවයි.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් පරිදි ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව මගින් නව බලපත‍්‍ර නිකුත් කිරීමට සහ අදාළ ආයතනයන් විමර්ශනය කිරීම සඳහා ක‍්‍රියාමාර්ගයන් සකස්කර තිබේ. ඒ අනුව නිකුත් කරනු ලබන නව බලපත‍්‍රය ලබානොගන්නා සහ මේ වනවිට ක‍්‍රියාත්මක වන පරමාණුක බලශක්ති පනතට පටහැනිව ක‍්‍රියාකරන්නන්ගේ ආයතන සීල් තැබීම, දඩ මුදල් අයකිරීම, උසාවි නඩු පැවරීම හෝ නැවත ලබාගත නොහැකි පරිදි බලපත‍්‍ර අවළංගු කිරීම ආදි දඩුවම් පැමිණවීමට එම සභාව මගින් ක‍්‍රියාකරනු ඇත.

1969 අංක 19 දරණ පනතට අනුව ක‍්‍රියාත්මකවූ පරමාණුක බලශක්ති අධිකාරිය, මේ වනවිට රට තුළ ක‍්‍රියාත්මක වන්නේ 2015 වසරේ ජනවාරි 01 දා සම්මත කරගත් 2014 අංක 40 දරණ විකිරණ පනතේ විධිවිධාන අනුව වේ. එම පනතට අනුව පරාමාණුක බලශක්ති අධිකාරිය, ශ‍්‍රී ලංකා පරමාණුක නියාමන සභාව සහ පරමාණුක බලශක්ති මණ්ඩලය යනුවෙන් ආයතන දෙකක් යටතේ ක‍්‍රියාත්මක කෙරෙන අතර පරමාණුක බලශක්ති නියාමන සභාව මගින් මෙම නව බලපත‍්‍ර නිකුත් කිරීම සිදුකරනු ලැබේ.

මෙවැනි ක‍්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමෙන්, විකිරණ වලින් තොර සුරක්ෂිත ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීම සිය ඒකායන අරමුණ බව, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.