ඉදිකිරීම් අවසන් කළ විදුලි දිගු සහ විදුලි ව්‍යාපාති 287 ක් ජනතා සේවයට
01 0

Posted by  in Latest News

රුසියානු විප්ලවයෙන් පසු රටේ යටිතල පහසුකම් පිළිබඳ අවධානය යොමුකළ ලෙනින් සහෝදරයා පවසා ඇත්තේද පළමුවෙන්ම සියලූ නිවාස වලට විදුලිය ලබාදෙන ලෙසයි

පසුගිය සමයේ තිබූ දේශපාලන වෙනස්කම් හමුවේ ඉදිකිරීම් අවසන් කළ විදුලි දිගු සහ විදුලි ව්‍යාපාති 287 ක් ජනතා සේවයට පත්නොකර තිබුණා. ජනතාවගේ ප‍්‍රධාන යටිතල පහසුකමක් වන විදුලිය ඒ ආකරයෙන් ජනතාවට ලබානොදී කොටුකරගෙන සිටීමෙන් රටේ සංවර්ධනය පවා අඩාල වෙනවා. ඒ නිසා ඉදිකරීම් අවසන් කළ මේ විදුලි යෝජනාක‍්‍රම සියල්ලම අද දවසේ ජනතා සේවයට කැප කරන්න අපි නියෝගයක් හැටියට තීරණය කළා. යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළකලේ රුවන්වැල්ල, ලෙවන්ගමදී පැවති අතලවත්ත විදුලි යෝජනා ක‍්‍රමය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

දීපව්‍යාප්තව ඉදිකිරීම් නිමකළ විදුලි යෝජනාක‍්‍රම ජනතා අයිතියට පත්කිරීමේ වැඩසටහනේ ජාතික උත්සවය අද පෙරවරුවේදී මෙසේ රුවන්වැල්ලේදී පැවති අතර මෙයට සමගාමීව ඉදිකිරීම් අවසන් කරනු ලැබූ විදුලි යේජනා ක‍්‍රම 287 ක් ජනතා අයිතියට පත්කෙරිණි. මේ සඳහා රුපියල් මිලියන 825ක් වැයවී ඇති අතර ප‍්‍රථිලාභීන් 6397 ක් සඳහා මෙමගින් විදුලිය පහසුකම් සැපයෙනු ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා …,
“අපි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය හැටියට අළුත් අභියෝග කිහිපයක් හඳුනාගෙන, ඒ අභියෝග ජයගනිමින් යන අවස්ථාවක් මේක. එක අභියෝගයක් හැටියට අපි දැක්කා නිවස අසලට විදුලි කණුව ගියත්, විදුලිය නොගත් විශාල ප‍්‍රමාණයක් මේ රටේ සිටිනවා. තවත් පිරිසක් සිටිනවා නිවස අසලට කණුවක්වත් නොමැතිව. මේ දෙපිරිසම දෙලක්ෂ පනස් දහසක් පමණ වෙනවා. මේ අතර පාසල් ළමුන් ලක්ෂ 5 ක් පමණ සසිටිනවා. මෙය විශාල ගැටළුවක්. ඒ නිසා අපි ඒ සඳහා විශේෂ ව්‍යාපෘතියක් දියත් කළා. විදුලිය ලබා නොගන්න ප‍්‍රධාන සාධකයක් තමයි දරිද්‍රතාව. ඒ ගැටළුවට විසඳුමක් හැටියට අපි කඩිනම් විදුලි සහන ණය යෝජනා ක‍්‍රමයක් හඳුන්වලා දුන්නා. අපේ ඉලක්කය ඒ දෙලක්ෂ පනස්දහසටම විදුලිය ලබාදෙන්නයි.

රටේ සංවර්ධනයට බලපාන ප‍්‍රධාන යටිතල පහසුකම් තමයි විදුලිය කියන්නේ. රුසියානු විප්ලවයෙන් පසු පළමුවෙන්ම යටිතල පහසුකම් සම්බන්ධයෙන් ලෙනින් සහෝදරයා කිව්වෙත් සියලූ නිවාස වලට විදුලිය කියන යටිතල පහසුකම ලබාදෙන්න කියලා. අපි වසර 30 ක් යුද්ධයෙන් පිඩා විඳපු රටක් හැටියට මේ වනවිට 98% ක් විදුලි පහසුකම් ලැබිම පිළිබඳවත් තවත් කෙටි කලයක් තුළ ඉතිරි 2% ක ප‍්‍රමාණත් විදුලිය ලබාදිමෙන් රටේ විදුලියනය 100% ක් බවට පත්වීම පිළිබඳවත් සතුටු වියයුතුයි” යැයි පැවසීය.

මෙම අවස්ථාවට අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත‍්‍රපාල, කෑගල්ල පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී වෛද්‍ය තුසිතා විජේමාන්න, පළාත්සභා මන්ත‍්‍රී නිහාල් ෆාරුක් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල, සාමාන්‍යාධිකාරි එන්. සි. වික‍්‍රමසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලනාධිකාරියත්, ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකුත් සහභාගී වූහ.